ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නාමය භාවිතා කරමින් අන්තර්ජාලය තුළ නිර්මාණය කරන ලද ව්‍යාජ වෙබ් අඩවියක් හරහා මහජනතාවගෙන් රුපියල් ලක්ෂ ගණනක මුදලක් වංචා කිරීමේ දැවැන්ත ජාවාරමක් සම්බන්ධයෙන් තමන් මේ වන විටත් පුළුල් විමර්ශනයක් අරඹා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම මූල්‍ය වංචාවට ගොදුරු වූ පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු කරන ලද පැමිණිලි පදනම් කරගනිමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අධිකරණය හමුවේ මෙලෙස කරුණු වාර්තා කිරීම සිදු කරන ලදී.
එම විමර්ශන නිලධාරීන්ට ලැබී ඇති පැමිණිලිවලට අනුව, පමුණුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ පනස් පහකට ආසන්න මුදලක් ජාවාරම්කරුවන් විසින් ලබාගෙන ඇති අතර, කඩවත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ ගිණුමකින් රුපියල් ලක්ෂ තුනහමාරකට වැඩි මුදලක්ද මෙලෙස සූක්ෂම ලෙස වංචා කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, මෙම සංවිධානාත්මක අපරාධය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතුවල ඉදිරි ප්‍රගතිය අධිකරණය වෙත නිරන්තරයෙන් වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් විමර්ශන නිලධාරීන්ට නියෝග කර තිබේ.



