warnings-from-many-local-banks-to-be-careful-about-cyber-crimes

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු පද්ධතිය ඉලක්ක කර ගනිමින් වර්ධනය වෙමින් පවතින සංවිධානාත්මක සයිබර් ජාවාරමක් හේතුවෙන් ගනුදෙනුකරුවන් දැඩි ලෙස විමසිලිමත් විය යුතු බවට බැංකු ආයතන රැසක් අනතුරු අඟවා සිටියි. දැනටමත් මෙරට ප්‍රධාන පෙළේ බැංකු දොළහකට අධික ප්‍රමාණයක් ඉලක්ක කර ගනිමින් මෙම වංචනික ක්‍රියාවන් සිදුවන බව අනාවරණය වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් ද බැංකු පද්ධතිය විසින් ආරම්භ කර තිබේ.




මෙම සයිබර් අපරාධකරුවන් විසින් අදාළ බැංකුවල නිල වෙබ් අඩවිවලට අතිශය සමාන ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර ඇති අතර, විද්‍යුත් තැපෑල හෝ කෙටි පණිවිඩ මගින් ගනුදෙනුකරුවන් වෙත හදිසි පණිවිඩ යැවීමට කටයුතු කරයි. ගිණුම අත්හිටුවා ඇති බවට හෝ මුරපදය වහාම වෙනස් කරන ලෙසට දන්වමින් එවනු ලබන ව්‍යාජ සබැඳි වෙත පිවිසෙන ගනුදෙනුකරුවන්ගේ තොරතුරු සූක්ෂ්ම ලෙස ලබාගන්නා හැකර්වරුන්, එම දත්ත එසැණින් බැංකුවේ සැබෑ වෙබ් අඩවියට ඇතුළත් කරනු ලබයි. එවිට ගනුදෙනුකරුගේ දුරකථනයට ලැබෙන සැබෑ OTP අංකය ද ව්‍යාජ අඩවිය හරහා ලබාගන්නා ජාවාරම්කරුවන් නිමේෂයකින් ගිණුමට ඇතුළු වී මුදල් සොරකම් කරන බව හඳුනාගෙන ඇත.

හැටන් නැෂනල් බැංකුව සිය ගනුදෙනුකරුවන් දැනුවත් කරමින් පවසන්නේ සිය බැංකුවේ නිල ආයතනික වෙබ් අඩවිය ලෙස පෙනී සිටින වංචනික වෙබ් අඩවි සම්බන්ධයෙන් දැඩි ලෙස සුපරීක්ෂාකාරී විය යුතු බවයි. එබැවින් වෙබ් බ්‍රවුසරයට සෘජුවම www.hnb.lk ලෙස ලිපිනය ඇතුළත් කිරීමෙන් හෝ නිල HNB ජංගම යෙදුම් හරහා පමණක් බැංකු සේවා ලබා ගැනීමට කටයුතු කළ යුතු අතර, කිසියම් සැක සහිත ක්‍රියාකාරකමක් නිරීක්ෂණය වන්නේ නම් වහාම බැංකුව දැනුවත් කරන ලෙස ද ඔවුන් ඉල්ලා සිටියි.




මේ අතර ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් ශ්‍රී ලංකා බැංකුව ද කෙටි පණිවිඩයක් මගින් සිය සේවාදායකයන් වෙත පවසා ඇත්තේ sc.com/lk ලෙස පෙනී සිටින වංචනික වෙබ් අඩවි පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවයි. කිසිදු ආකාරයක සැක සහිත සබැඳියක් මත ක්ලික් නොකරන ලෙසත්, පුද්ගලික බැංකු තොරතුරු කිසිවකු සමඟ හුවමාරු කර නොගන්නා ලෙසත් අවධාරණය කරන එම බැංකුව, සෑම විටම සේවාවන් ලබා ගැනීමට නිල වෙබ් අඩවිය හෝ SC ජංගම යෙදුම පමණක් භාවිත කරන ලෙස උපදෙස් ලබා දෙයි.

පෑන් ඒෂියා බැංකුව ද සිය පාරිභෝගිකයන් වෙත දන්වා සිටින්නේ තමන්ගේ පරිශීලක නාමයන් සහ මුරපදයන් ඇතුළත් කිරීමට පෙර පිවිසෙන වෙබ් අඩවියේ ලිපිනය සැමවිටම පරීක්ෂා කළ යුතු බවයි. විශේෂයෙන්ම https://online.pabcbank.com යන ලිපිනය ඔස්සේ පමණක් මාර්ගගත බැංකු සේවා ලබා ගැනීමට කටයුතු කළ යුතු අතර, ලැබෙන OTP අංක කිසිදු විටක කිසිවකු සමඟ බෙදා නොගන්නා ලෙසත්, සැක සහිත හෝ නොදන්නා වෙනත් මෘදුකාංග ජංගම දුරකථනවල ස්ථාපනය නොකරන ලෙසත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.



වංචනික වෙබ් අඩවි හඳුනා ගැනීමේදී ඒවායේ අක්ෂර වින්‍යාසය වැරදි ලෙස හෝ සුළු වෙනස්කම් සහිත වෙබ් ලිපින භාවිත කර තිබිය හැකි බව ඩී.එෆ්.සී.සී. බැංකුව පෙන්වා දෙයි. එබැවින් ඕනෑම තොරතුරක් ඇතුළත් කිරීමට පෙර අදාළ වෙබ් ලිපිනය දෙවරක් පරීක්ෂා කිරීමෙන් මෙම මූල්‍ය වංචාවන්ගෙන් ආරක්ෂා විය හැකි බව එම බැංකුවේ අදහසයි.

සම්පත් බැංකුව ද සිය 'සම්පත් විශ්ව' පරිශීලකයින් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ විවිධ ප්‍රවර්ධන දීමනා, වට්ටම් හෝ මුදල් ලබා ගැනීමේ සබැඳි සහ බැංකු ලාංඡන භාවිත කරන ව්‍යාජ වෙබ් අඩවි හරහා වංචාකරුවන් පාරිභෝගිකයන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන බවයි. කිසිදු අවස්ථාවක සමාජ මාධ්‍ය පණිවිඩ හරහා ලැබෙන සබැඳි වෙත පිවිස සිය පිවිසුම් තොරතුරු ඇතුළත් නොකළ යුතු අතර, www.sampath.lk වෙබ් අඩවියේ ඇති ඩිජිටල් බැංකුකරණ පිවිසුම හෝ නිල සම්පත් බැංකු ජංගම යෙදුම හරහා පමණක් ගනුදෙනු සිදු කිරීම ආරක්ෂිත බව එම බැංකුව පවසයි.