sajith-scolds-him-for-letting-the-hacker-take-money

ශ්‍රී ලංකාවේ විදේශ ණය සහ පොලී වාරික ගෙවීමේ වගකීම මහ බැංකුවෙන් ඉවත් කර නව ක්‍රමවේදයක් යටතේ රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය සහ විදේශ සම්පත් ආයතනය වෙත පැවරීමේදී නිසි ආරක්ෂිත පියවර අනුගමනය කර නොමැති බවත්, ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක මුදලක් සයිබර් ප්‍රහාරයකින් අතුරුදන් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේය. රටේ මහජනතාවගේ බදු මුදල් මෙලෙස හැකර්වරයෙකු විසින් පිට්පොකට් ගැසීම හරහා මෙරට මූල්‍ය සුරක්ෂිතභාවය පිළිබඳ ඉතා බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.




පසුගිය ජනවාරි මාසයේදී මෙම සොරකම සිදුවී තිබුණද, ඒ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කර ඇත්තේ මාර්තු මාසයේදී බවත්, මෙම දැවැන්ත මූල්‍ය පාඩුව ඊයේ දිනය දක්වාම පාර්ලිමේන්තුවෙන් සහ ජනතාවගෙන් වසන් කිරීමට වත්මන් රජය මෙන්ම මුදල් අමාත්‍යාංශයද කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා චෝදනා කළේය. මුදල් පිළිබඳ පූර්ණ බලය සහ වගකීම ඇත්තේ පාර්ලිමේන්තුව සතුව වුවද, මාස කිහිපයක් තිස්සේ මෙම කරුණ රහසක් ලෙස තබා ගැනීම මෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අදාළ ආයතනයේම නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම හරහා එම පරීක්ෂණවල විනිවිදභාවය සහ ස්වාධීනත්වය පිළිබඳව ද ඔහු දැඩි සැකයක් මතු කළේය.

මෙතරම් විශාල මුදලක් සයිබර් ප්‍රහාරයකින් අහිමි වීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන පසුබිමක වුවද, ඊට ප්‍රධාන වශයෙන් වගකිවයුතු රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය පොදුරාජ්‍ය මණ්ඩලීය ණය කළමනාකරණ සම්මානයක් පවා ලබාගෙන ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. බැංකු පද්ධතියක් හරහා ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු සිදු කිරීමේදී ලියාපදිංචි ආරක්ෂිත විද්‍යුත් තැපැල් (Registered White listed emails), විද්‍යුත් තැපැල් හානිපූරණ ක්‍රමවේද (Email indemnities) සහ දුරකථන මාර්ගයෙන් තහවුරු කරගැනීම් (Call of verification) වැනි ආරක්ෂිත ක්‍රමවේද රැසක් පැවතියද, මුදල් අමාත්‍යාංශය සහ අදාළ ආයතන ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කර නොමැති බව ඔහු සඳහන් කළේය. ඊට අමතරව, ගනුදෙනු ක්‍රියාවලිය තුළ ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳව මහ බැංකුව විසින් අවස්ථා කිහිපයකදීම ණය කළමනාකරණ ආයතනයට අනතුරු අඟවා තිබියදීත් ඒවා නොසලකා හැරීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍ය බව ද හෙතෙම අවධාරණය කළේය.




"සුහුරු ආණ්ඩුවක්" සහ ඩිජිටල්කරණය වූ රාජ්‍යයක් නිර්මාණය කරන බවට වත්මන් ආණ්ඩුව පුරසාරම් දෙඩුවද, අවසානයේදී වංචනික හැකර්වරයෙකු හමුවේ සමස්ත රාජ්‍ය පාලන යන්ත්‍රණයම පරාජයට පත්වී ඇති බව ප්‍රේමදාස මහතා විවේචනය කළේය. "ඇවිදින පුස්තකාල" ලෙස හඳුන්වාගනිමින් සහ රාජ්‍ය දේපළ ආරක්ෂා කරන බව පවසමින් බලයට පැමිණි පිරිසට අවසානයේ රටේ මූල්‍ය සුරක්ෂිතභාවය තහවුරු කරගත නොහැකි වී ඇති බව පවසන ඔහු, අහිමි වූ මෙම අමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක පාඩුවට අදාළ වන්දිය යළිත් වරක් අහිංසක ජනතාවගේ බදු මුදලින් පියවීමට කටයුතු කරන්නේදැයි ප්‍රශ්න කළේය. වැඩ බැරි රජයක් බවට පත්ව ඇති වත්මන් පාලනය වහාම මෙම ගැටලුවට පිළිතුරු දිය යුතු බවත්, මෙරට සයිබර් ආරක්ෂාව සහ මූල්‍ය ගනුදෙනු පිළිබඳව කඩිනමින් නවීන ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.