මගී ජනතාවට වඩාත් පහසු සහ ගුණාත්මක ප්‍රවාහන අත්දැකීමක් ලබා දීමේ අරමුණින් නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද (අගෝස්තු 08) දින නිල වශයෙන් මහජන අයිතියට පත් කරන ලදී. මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වසු බන්දු එදිරිසිංහ යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වූහ.
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන 'පිරිසිදු ශ්‍රී ලංකාවක්' (Clean Sri Lanka) වැඩසටහනට සමගාමීව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇත. ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ප්‍රධාන පර්යන්ත ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම, නව තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සහ බස් නැවතුම්පොළ අවට පරිසරය අලංකාර කිරීම වැනි ප්‍රධාන සංවර්ධන කටයුතු රැසක් සිදු කර තිබේ. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිය ශ්‍රම දායකත්වය ලබා දීම ද විශේෂත්වයකි.
මේ අතර, කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු හෙට (අගෝස්තු 09) දින සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කර සිටී. ආසියානු සංවර්ධන බැංකුවේ සහ ශ්‍රී ලංකා රජයේ ඒකාබද්ධ මූල්‍ය දායකත්වය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 2.1 කට අධික මුදලක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මගීන්ට වඩාත් නවීන හා කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් සිදු කෙරෙන මෙම දුම්රිය ස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු මාස 15 ක් ඇතුළත සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලධාරීන් අපේක්ෂා කරයි.





