
වැලිමඩ පොලිස් ස්ථානයේ රථවාහන අංශයට රාත්‍රී කාලයේදී රහසිගතව ඇතුළු වී එහි පෙට්ටියක බහා තිබූ තාවකාලික රියදුරු බලපත්‍ර 41ක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දියතලාව යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන කෝප්‍රල්වරයෙකුව පොලිසිය විසින් පෙරේදා (07) දිනයේදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සොරකම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ රාත්‍රී රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයා සිය මේසය මත හිස තබාගෙන නින්දට වැටී සිට ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
මෙම අපරාධයට සම්බන්ධ සැකකාර යුද හමුදා කෝප්‍රල්වරයා මීට පෙර, එනම් පසුගිය 05 වැනිදා ද බීමතින් රිය පැදවීමේ චෝදනාව මත එම රථවාහන අංශයේ නිලධාරීන් විසින්ම අත්අඩංගුවට ගනු ලැබූ අයෙකු වීම විශේෂත්වයකි. බලපත්‍ර සොරකම සම්බන්ධයෙන් ඔහුව යළිත් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ තොරතුරු මත, ඔහු පදිංචිව සිටින මීරගහවත්ත ප්‍රදේශයේ නිවසේ මේස ලාච්චුවක සඟවා තිබියදී අතුරුදන් වූ තාවකාලික රියදුරු බලපත්‍ර හතළිස් එකම සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වී ඇත.
මේ අතර, සිය රාජකාරි මුරය අතරතුරදී පොලිස් ස්ථානය තුළ නිදාගෙන සිටි බව කියන පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන්ද පොලිස් දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් දැඩි පියවර ගෙන තිබේ. ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් විශේෂ විනය පරීක්ෂණයක් පවත්වා ඇති අතර, ඉන් අනතුරුව අදාළ සැරයන්වරයාගේ රාජකාරි වැඩ තහනම් කිරීමට ඊයේ දිනයේදී පියවර ගෙන ඇත.



