ranil-to-sri-lanka-after-the-year---vajira-abeywardenas-secret-ambassadorial-meetings

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, ශ්‍රී ලංකාවේ සිටින බලවත් රටවල් කිහිපයක තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් සමඟ රහසිගත හමුවීම් කිහිපයක් පැවැත්වූ බවට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. එම හමුවීම් විශේෂ අවධානයකට ලක්ව ඇත්තේ, ඒවා නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් නොකර ඉතා සීමිත වටපිටාවක සිදු කර ඇති බවට වාර්තා වීම නිසාය.




මෙම හමුවීම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේදී හමුවීමෙන් අනතුරුව වජිර අබේවර්ධන මෙරටට පැමිණි වහාම එවැනි රාජ්‍යතාන්ත්‍රික හමුවීම් ආරම්භ කර තිබීම හේතුවෙනි. ඒ අනුව, මෙම සංවාදවල දේශපාලන වැදගත්කම පිළිබඳ විවිධ වාර්තා මේ වන විටත් පළ වෙමින් තිබේ.

මේ අතර, ශල්‍යකර්මයකින් අනතුරුව සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සතුටුදායක අයුරින් යහපත් වෙමින් පවතින බව ද වාර්තා වේ. ඔහු රෝහලෙන් පිටව යාමට වෛද්‍යවරුන්ගේ අවසරය ලබා තිබුණද, තවත් දින කිහිපයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ විවේකයෙන් ගත කිරීමට තීරණය කර ඇති බව සඳහන් වේ.




රනිල් වික්‍රමසිංහ සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණීම සුදුසු බවට සමීප වටපිටාවේ පිරිස් කිහිප දෙනකු යෝජනා කර තිබූ බව ද දේශපාලන ආරංචිමාර්ග කියා සිටියි. කෙසේ වෙතත්, තවදුරටත් සිංගප්පූරුවේ විවේකයෙන් ගත කළ යුතු බවට මිතුරන් හා සමීපතමයන් පළ කළ අදහස් අතරතුර, හැකි ඉක්මනින් යළි ශ්‍රී ලංකාවට පැමිණීම තම ස්ථාවරය බව රනිල් වික්‍රමසිංහ දැනුම් දී ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව, ඉදිරි දින දහය ඇතුළත රනිල් වික්‍රමසිංහ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම පැමිණීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ද නව සංවාද මතු විය හැකි බව දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහසයි.