due-to-a-system-problem-chinas-robot-taxis-are-on-the-way

චීනයේ ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය රොබෝ ටැක්සි රථ (robotaxis) සමූහයක් හදිසි පද්ධති දෝෂයක් හේතුවෙන් මහමඟ අතරමඟ නතර වී යාමේ පුවතක් වාර්තා වේ. මේ හේතුවෙන් එම රථවල ගමන් ගත් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර, පැය කිහිපයක් පුරාවට ඔවුන්ට එම ස්ථානවලම සිරවී සිටීමට සිදුවූ බව එරට පොලිසිය විසින් ද තහවුරු කර තිබේ.




මෙම සිදුවීම වාර්තා වන්නේ මධ්‍යම චීනයේ වූහාන් (Wuhan) නගරයෙනි. චීන අන්තර්ජාල දැවැන්තයෙකු වන බයිදු (Baidu) සමාගමට අයත් මෙම රියදුරු රහිත වාහන හදිසියේම අක්‍රීය වී ඇති බව පවසමින් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ මගීන්ගෙන් දිගින් දිගටම දුරකථන ඇමතුම් ලැබුණු බව ප්‍රාදේශීය බලධාරීන් සඳහන් කරයි. බයිදු සමාගමේ 'ඇපලෝ ගෝ' (Apollo Go) සේවාවට අයත් මෝටර් රථ කිහිපයක් මෙලෙස ගමන් කිරීමට නොහැකිව මාර්ගය මැද නතර වී ඇති බවත්, මූලික විමර්ශනවලට අනුව මීට හේතුව පද්ධති ක්‍රියාකාරීත්වයේ ඇතිවූ දෝෂයක් බවත් බදාදා නිකුත් කළ පොලිස් නිවේදනයක දැක්වේ.

වූහාන් නගරය තුළ පමණක් බයිදු සමාගම සතුව රියදුරු රහිත මෝටර් රථ 500 කට අධික ප්‍රමාණයක් පවතින නමුත්, මෙම දෝෂය හේතුවෙන් කොපමණ රථ සංඛ්‍යාවක් අඩාල වූයේද යන්න නිශ්චිතව ප්‍රකාශ කර නොමැත. මෙම සිදුවීමට මුහුණ දුන් එක් මගියෙකු චීන සමාජ මාධ්‍ය වේදිකාවක් වන 'රෙඩ්නෝට්' (RedNote) ඔස්සේ සිය අත්දැකීම විස්තර කරමින් පවසා සිටියේ, ප්‍රාදේශීය වේලාවෙන් රාත්‍රී 9 ට පමණ වූහාන් හි ගුවන් පාලමක් සහිත අධිවේගී මාර්ගයක තම රථය හදිසියේම නතර වූ බවයි. එහිදී පාරිභෝගික සේවා අංශය හා සම්බන්ධ වීමට දැරූ උත්සාහයන් මුලදී අසාර්ථක වූ බවත්, පසුව සම්බන්ධ වූ සෑම අවස්ථාවකදීම විශේෂඥයෙකු පිටත් කර යවා ඇති බවට පමණක් ඔවුන් පැවසූ බවත් ඔහු සඳහන් කර ඇත. කෙසේ වෙතත්, රාත්‍රී 10.30 ට පමණ සිය ඇණවුම අවලංගු කෙරුණු බවත්, ඒ වන විටත් තමා විශාල ට්‍රක් රථ මැද අධිවේගී මාර්ගයේ සිරවී සිටි බවත් එම මගියා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.




අවසානයේදී අදාළ මගියා මුදවා ගැනීමට බලධාරීන් සමත් වී ඇතත්, මෙවැනි හදිසි අවස්ථාවකදී නිසි විසඳුමක් ලබා දෙනවා වෙනුවට 'ඇපලෝ ගෝ' පාරිභෝගික සේවා නියෝජිතයින් හිස් වචන පමණක් භාවිත කළ බවට ඔහු චෝදනා කරයි. මීට අමතරව, තවත් මගීන් විසින් මෙම සිදුවීමට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ අතර, ඉන් එක් වීඩියෝවක මෝටර් රථයේ ඇති ටැබ්ලට් පරිගණකය හරහා සමාගම සම්බන්ධ කරගැනීමට දරන අසාර්ථක උත්සාහයක් දර්ශනය වේ. "ඇපලෝ ගෝ, ඔබ අංශභාග රෝගියෙක්ද?" යනුවෙන් එම වීඩියෝවට උපහාසාත්මක සටහනක් ද එක් කර තිබුණි.

බයිදු සමාගමේ රොබෝ ටැක්සි සේවාව සම්බන්ධයෙන් මෙවැනි ආන්දෝලනාත්මක සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවේ. පසුගිය දෙසැම්බර් මාසයේදී ද ෂුෂෝ (Zhuzhou) නගරයේදී ස්වයංක්‍රීයව ධාවනය වූ බයිදු රථයක ගැටීමෙන් පදිකයින් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට සිදුවීමත් සමග එහි රොබෝ ටැක්සි මෙහෙයුම් අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබුණි. ඇමරිකාවේ ගූගල් සමාගමට සමාන කරනු ලබන බයිදු සමාගම, 2020 වසරේ අගභාගයේදී බීජිං නුවරින් සිය 'ඇපලෝ ගෝ' සේවාව ආරම්භ කළ අතර මේ වන විට චීනයේ නගර රැසක එය ව්‍යාප්ත කර ඇත.



සමාගම් වාර්තාවලට අනුව, 2025 වසරේ සිව්වන කාර්තුව තුළ පමණක් ඔවුන් රියදුරු රහිත ගමන් වාර මිලියන 3.4 ක් සපයා ඇති අතර එය 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 200% කටත් වඩා වැඩි වර්ධනයකි. තවද, චීනයෙන් පිටත සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමේ අරමුණින් ලිෆ්ට් (Lyft) සහ ඌබර් (Uber) යන ප්‍රවාහන සේවා යෙදුම් සමඟින්ද සිය ස්වයංක්‍රීය වාහන යෙදවීම සඳහා ඔවුන් මෑතකදී ගිවිසුම්ගත විය. (ද ගාර්ඩියන් ඇසුරිනි)