රට තුළ පවතින දේශපාලන උණුසුම් වාතාවරණය අතර, ආණ්ඩුව ආරක්ෂක අංශ සහ නීති ක්‍රියාත්මක කිරීමේ ආයතන උපයෝගී කරගනිමින් තෝරාගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවට විපක්ෂයෙන් චෝදනා එල්ල වෙමින් පවතී. එම චෝදනා අතර, ඇතැම් ආරක්ෂක නිලධාරීන්ට ලැබෙන වාචික නියෝග සම්බන්ධයෙන් සැක පළවී ඇති අතර, ඒවා ලිඛිතව ලබාදෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරන ප්‍රවණතාවක්ද දක්නට ලැබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
විශේෂයෙන් ස්වාධීන කොමිෂන් සභා සමඟ සම්බන්ධව කටයුතු කරන නිලධාරීන් මෙවැනි ලිඛිත නියෝග ඉල්ලා සිටීමට වැඩි උනන්දුවක් පෙන්වමින් සිටින බවද පැවසේ.මේ අතර, ආණ්ඩුවේ දේශපාලන තීරණ මත රාජපක්ෂ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බවටද චෝදනා ඉදිරිපත් වී ඇත. ඒ අනුව, ශිරන්ති රාජපක්ෂ, හිටපු කතානායක චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ අතරින් එක් අයෙකු හෝ කිහිපදෙනෙකු සිංහල අවුරුද්දට පෙර බන්ධනාගාරගත කිරීමට උත්සාහයක් පවතින බවට එම පවුල පවසයි.
පසුගිය සතියේ චමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට උත්සාහයක් ගත් බවත්, එය ඔහු විදේශගතව සිටීම හේතුවෙන් අසාර්ථක වූ බවත් සඳහන් වේ. එමෙන්ම “සිරිලිය සවිය” ව්‍යාපෘතියට අදාළව ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා හැකි බවටද වාර්තා පවතී.
එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් භාවිතය පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම පිළිබඳවද ආණ්ඩුවේ වගකිවයුත්තන් අවධානය යොමු කර ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග පවසයි. මේ අතර, ආණ්ඩුවට එරෙහිව එල්ල වන චෝදනා පිළිබඳව ප්‍රතිචාර දැක්වීමේදී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට විපක්ෂයේ කොටසක් චෝදනා කරයි.
තවද, පාර්ලිමේන්තුවේ කතානායකවරයා ඇතුළු ප්‍රබල පුද්ගලයන් කිහිපදෙනෙකුට එරෙහිව නව ජනතා පෙරමුණ විසින් අල්ලස් හා දූෂණ කොමිසම වෙත පැමිණිලි සියයකට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබුණද, එම පැමිණිලි සම්බන්ධයෙන් මෙතෙක් මූලික විමර්ශන ක්‍රියාවලියක්වත් ආරම්භ කර නොමැති බව එම පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර සඳහන් කර ඇත.

