ports-and-civil-aviation-minister-anura-karunathilak-will-hold-the-post-of-power-minister

හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වී පැවති බලශක්ති අමාත්‍ය ධුරය සඳහා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අනුර කරුණාතිලක මහතා පත් කර ඇත. නව අමාත්‍යවරයා අද (20) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිය නව තනතුරේ දිවුරුම් දෙනු ලැබීය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළ පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමාරනායක මහතා ද එම අවස්ථාවට සහභාගී වී සිටියේය.




මෙසේ බලශක්ති අමාත්‍ය ධුරය පුරප්පාඩු වූයේ පසුගිය අප්‍රේල් මස 17 වැනි සිකුරාදා හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සිය ධුරයෙන් ඉවත් වීමත් සමඟිනි. ගල්අඟුරු ආනයනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පත්කර ඇති විශේෂ ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතු සඳහා බාධාවකින් තොරව ඉඩ සලසා දීමේ අරමුණින් තමා මෙලෙස තනතුරෙන් ඉල්ලා අස්වන බව ඔහු ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය මගින් දැනුම් දී තිබිණි.

අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීමෙන් පසුව, නව අමාත්‍යවරයෙකු පත් කරන තෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අදාළ අමාත්‍යාංශයේ කාර්යභාරයන් ජනාධිපතිවරයාගේ විෂය පථයට පත්වේ. කෙසේ වෙතත්, අලුතින්ම අමාත්‍යවරයෙකු පත් නොකර දැනටමත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරයෙකු වෙතම මෙම බලශක්ති අමාත්‍ය ධුරයේ වගකීම පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග මීට පෙර අනාවරණය කර තිබුණු අතර, ඒ අනුව යමින් අනුර කරුණාතිලක මහතා වෙත මෙම අතිරේක වගකීම පවරා තිබේ.