
ප්‍රබල පාතාල අපරාධකරුවෙකු වන කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා මෙන්ම යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළෙකු ද වන එස්.එෆ්. රාජු (මීටියාගොඩ රාජු) නමැත්තා ඉන්දීය ආරක්ෂක අංශ විසින් නවදිල්ලියේදී අත්අඩංගුවට ගෙන ඇත.
මේ වන විට ඩුබායි රාජ්‍යය පාතාල අපරාධකරුවන් සඳහා අනාරක්ෂිත කලාපයක් බවට පත්ව ඇති බැවින්, සිය සහෝදරයාගේ උපදෙස් මත ග්‍රීසියට පලා යාමේ අරමුණින් ඔහු පසුගිය 11 වැනිදා ඩුබායි සිට ඉන්දියාවට පැමිණ තිබේ. එහිදී ග්‍රීසිය සඳහා වීසා ලබාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටියදී පසුගිය 13 වැනිදා ඔහු මෙලෙස ඉන්දීය බලධාරීන්ගේ ග්‍රහණයට නතු වී ඇත.මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය හරහා ශ්‍රී ලංකාවට දැනුම් දීමෙන් පසුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඉන්දියාවට ගොස් පසුගිය 17 වැනිදා ඔහුව මෙරටට රැගෙන එන ලදී. පොලිස්පතිවරයාගේ නියෝග මත වැඩිදුර විමර්ශන සඳහා ඔහුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී ඇති අතර, මූලිකව දින තුනක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ දින 90ක කාලයක් රඳවාගෙන විමර්ශනය කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. වයස අවුරුදු 43ක් වන මෙම සැකකරු මීටියාගොඩ, මහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු මෙරට තුළ සිදු කළ අපරාධ රැසක් සම්බන්ධයෙන් මේ වන විටත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී. 2011 වසරේ සැප්තැම්බර් 29 වැනිදා මුළු රටේම අවධානයට ලක්වූ, කරන්දෙණිය රෝහලේ සේවය කළ වෛද්‍ය ප්‍රියංකර ප්‍රසාද් ජයසිංහ මහතාගේ ඝාතනය මොහු සහ කරන්දෙණිය සුද්දා විසින් සිදු කරන ලද්දකි. එම වකවානුවේදී යුද හමුදා සේවයේ නිරතව සිටි මොවුන් දෙදෙනා කොන්ත්‍රාත්තුවක් මත කඳවුරෙන් හොර රහසේ පිටවවිත් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව තහවුරු වී තිබේ. කෙසේ වෙතත්, එම ඝාතනය සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට පත් වුවද මෙතෙක් ඊට අදාළව නඩු පවරා නොමැති බව පොලිස් තොරතුරු පෙන්වා දෙයි.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරන පරිදි, රාජු නමැත්තා 2022 වසරේදී ශ්‍රී ලංකාවෙන් පලා ගොස් ඇත්තේ ව්‍යාජ ලෙස සකස් කළ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමිනි. සිය ඡායාරූපය යොදාගෙන වෙනත් පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පතක් සහ උප්පැන්න සහතිකයක් මගින් සකස් කළ එම බලපත්‍රයෙන් ඔහු මුලින්ම ඉන්දියාවටත්, පසුව 2023 වසරේදී ඩුබායි රාජ්‍යයටත් පලා ගොස් ඇති අතර, ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීද ඔහු සතුව තිබී ඇත්තේ එම ව්‍යාජ ගමන් බලපත්‍රයයි.
ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු හෙළි කර ඇත්තේ සිය සහෝදරයා වන කරන්දෙණිය සුද්දා මේ වන විට ඩුබායි රාජ්‍යයේ නොමැති බවත්, ඔහු යුරෝපීය රටක සැඟව සිටින බවත්ය. එසේම, අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවද ඔහු පවසා තිබේ. කෙසේ වෙතත්, මීටියාගොඩ, හික්කඩුව, අහුංගල්ල, කරන්දෙණිය, ඉමදූව සහ ජාඇළ යන පොලිස් වසම් තුළ මොහු විසින් සිදු කරන ලදැයි කියන මිනිස් ඝාතන 06ක් සහ ගිනිඅවි ළඟ තබා ගැනීමේ සිද්ධීන් 03ක් පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් තහවුරු කර ඇත.

