piyasena-gamage-who-gave-illegal-political-appointments-to-134-people-was-arrested-and-released-on-bail

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (20) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. දූෂණ චෝදනා කිහිපයක් පදනම් කරගනිමින් ලැබුණු පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව පෙරවරු 10.30 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.




හිටපු අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවක් වන්නේ තම අමාත්‍ය ධුරයේ බලතල අවභාවිත කරමින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් අනුමත කර ඇති බඳවා ගැනීමේ පටිපාටියට පටහැනිව කටයුතු කිරීමයි. ඒ අනුව, කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ගාල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් සුළු සේවකයන් 134 දෙනෙකු නීතිවිරෝධී ලෙස බඳවා ගනිමින් දූෂණය නමැති වරද සිදු කර ඇති බවට කොමිසම පෙන්වා දෙයි.

මීට අමතරව, යාපනය තාක්ෂණ විද්‍යාලයේ අධ්‍යක්ෂවරයෙකුට විනය නියෝග මත ලබා දී තිබූ ස්ථාන මාරුවීමක් අවලංගු කිරීම සඳහා හිටපු අමාත්‍යවරයා විසින් අනිසි බලපෑම් කර ඇති බවට ද තවත් චෝදනාවක් එල්ල වී තිබේ. කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවස්ථා කිහිපයකදීම බලපෑම් කරමින් අදාළ ස්ථාන මාරුව අවලංගු කරවීමට කටයුතු කර ඇති බවත්, එමගින් අදාළ අධ්‍යක්ෂවරයාට අයුතු වාසියක් සලසා දී ඇති බවත් අල්ලස් කොමිසම විසින් තවදුරටත් අනාවරණය කර ඇත.




කෙසේ වෙතත්, අත්අඩංගුවට පත් සැකකාර හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ. අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙන්ම සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීති උපදේශකවරයා විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම ඇප නියෝගය නිකුත් කරනු ලැබීය.