take-a-decision-on-hiru-who-newsplanted-that-the-government-bought-crude-oil-fraudulently---sipetco-informs

ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් පෞද්ගලික සමාගම විසින් මාධ්‍ය නිදහස බරපතල අන්දමින් අවභාවිත කරමින් අසත්‍ය පුවත් විකාශය කිරීමට එරෙහිව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ජනමාධ්‍ය අමාත්‍යංශයට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අදාළ මාධ්‍ය ආයතනය විසින් ගෙනගිය අසත්‍ය ප්‍රචාර හේතුවෙන් තම ආයතනයේ කීර්තිනාමයට මෙන්ම සමස්ත සමාජයට හා ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පෙන්වා දෙන සංස්ථාව, මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා නියාමන ආයතනවල කඩිනම් මැදිහත්වීමක් අපේක්ෂා කරයි.




මෙම අර්බුදයට මුල් වී ඇත්තේ 2026 අප්‍රේල් 16 වන දින හෝ ඊට ආසන්න දිනයකදී අදාළ නාලිකාව විසින් ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 286ක අධික මුදලක් ගෙවා ඇති බවට පළ කළ චෝදනාත්මක ප්‍රවෘත්තියකි. ශ්‍රී ලංකාව තුළ බොරතෙල් ආනයනය කිරීමේ නෛතික බලය ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පමණක් වන බැවින්, ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා සිතාමතාම විකෘති කරමින් මෙම ගනුදෙනුව සංස්ථාව විසින් සිදු කළ බවට ජනතාව සැකයකින් තොරව නොමග යවන අයුරින් අදාළ පුවත ඉදිරිපත් කර ඇති බවට ඔවුහු චෝදනා කරති.

එවැනි කිසිදු අවස්ථාවක ඩොලර් 286කට හෝ ඊට කිසිලෙසකින් ආසන්න මුදලකට හෝ බොරතෙල් මිලදී ගෙන නොමැති බව තරයේ අවධාරණය කරන සංස්ථාව, මෙම පුවත මුළුමනින්ම සාවද්‍ය බව ප්‍රකාශ කරයි. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් හරහා කරුණු පැහැදිලි කර තිබියදීත්, HSBC ප්‍රධානියාගේ ප්‍රකාශයක් ද හිතාමතාම විකෘති කරමින් ලාංකීය ගැනුම්කරුවෙකු අදාළ මිලට බොරතෙල් ගත් බවට යළිත් වරක් අසත්‍ය ප්‍රචාරයක් ගෙන යාම ද්වේශසහගත මෙන්ම චේතනාන්විත විෂමාචාරයක් බව ඔවුන්ගේ පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වේ.




මෙවැනි වගකීම් විරහිත සහ අසත්‍ය තොරතුරු දිගින් දිගටම සමාජගත කිරීම තුළින් ඉදිරියේදී ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යනු ඇති බවට ජනතාව තුළ අනියත බියක් මෙන්ම කැළඹීමක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතී. ඊට අමතරව ජාතික වැදගත්කමකින් යුත් ආයතනයක් කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු වීම, දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් රටේ කීර්තිනාමයට සහ විදේශීය ණයදෙන ආයතන සමග පවතින සබඳතාවලට හානි සිදුවීම හරහා රටේ බලශක්ති ස්වෛරීත්වයට සහ ආර්ථික ස්ථායීතාවයට එල්ල වන තර්ජනය අතිමහත් බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙන්වා දෙයි.

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබුණ ද, ජාතික ආර්ථිකයට බලපාන කරුණු සම්බන්ධයෙන් සිතාමතා සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට හෝ මහජන සාමය කඩවන ලෙස හැසිරීමට කිසිදු පාර්ශවයකට අයිතියක් නොමැත. එබැවින් අදාළ නාලිකාව සිය විකාශන බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කර ඇත්දැයි වහාම විමර්ශනය කරන ලෙසත්, මාධ්‍ය නියාමන රාමුව පිළිබඳ මහජන විශ්වාසය යළි ගොඩනැංවීම උදෙසා ජාතික ආර්ථිකයට වැදගත් කරුණු වාර්තා කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සහ නියෝග මාධ්‍ය ආයතන වෙත නිකුත් කරන ලෙසත් සංස්ථාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.