සාමාන්‍යයෙන් අපගේ දෛනික ආහාර වේලට මී කිරි එක් කර ගැනීමට බොහෝ දෙනෙකු මහත් කැමැත්තක් දක්වනුයේ එය සෞඛ්‍යයට හිතකර යැයි පවතින විශ්වාසය නිසා වුවද, දියවැඩියා රෝගීන්ට එය සැමවිටම යෝග්‍ය නොවන බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති. ප්‍රකට වෛද්‍ය පර්මේශ්වර් අරෝරා පවසන පරිදි රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමට බලපාන ප්‍රධානතම හේතු අතර තෙවන ස්ථානය හිමිවන්නේ මී කිරි භාවිතයටයි.
බොහෝ පිරිසක් මී කිරිවල ග්ලයිසමික් දර්ශකය අඩු බැවින් එය රුධිරගත සීනි කෙරෙහි ක්ෂණික බලපෑමක් නොකරන බව සිතුවද, එය භාවිත කරන වේලාව සහ ආකාරය අනුව බරපතල ගැටලු ඇති විය හැකි බව වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී මී කිරි ආහාරයට ගැනීම රුධිරයේ සීනි මට්ටම වේගයෙන් ඉහළ නැංවීමට හේතු වන බැවින් දියවැඩියා රෝගීන් ඒ පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතුය.කිරිවල අඩංගු වන ලැක්ටෝස් නැමති ස්වභාවික සීනි වර්ගය මී කිරි සෑදීමේ ක්‍රියාවලියේදී බැක්ටීරියා මගින් ලැක්ටික් අම්ලය බවට පරිවර්තනය කළද, එහි සැලකිය යුතු සීනි ප්‍රමාණයක් ඉතිරිව පවතී. ශරීරයට මෙම ඉතිරි වී ඇති ලැක්ටෝස් ප්‍රමාණය නිසි ලෙස දහනය කිරීමට අපහසු වන අවස්ථාවලදී රුධිරයේ ග්ලුකෝස් මට්ටම ඉහළ යාම වැළැක්විය නොහැකි අතර අධික ලෙස මී කිරි පරිභෝජනය කිරීම මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කරයි. වෙළඳපොළේ ඇති සකස් කරන ලද යෝගට් සහ මී කිරි වර්ගවල රසය වැඩි කිරීමට අමතර සීනි සහ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය එක් කිරීම නිසා ඒවා දියවැඩියා රෝගීන්ට විෂක් බඳු වන අතර එමගින් ශරීරයේ ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය අඩාල කිරීමේ හැකියාවක් ද පවතී.
රාත්‍රී කාලයේදී ශරීරයේ පරිවෘත්තීය වේගය අඩුවීම හේතුවෙන් එම කාලය තුළ මී කිරි ලබා ගැනීමෙන් සීනි සැකසීමේ ක්‍රියාවලිය දුර්වල වන බවත්, එමගින් ශරීරයේ 'කප්ප' දෝෂය වර්ධනය වී සෞඛ්‍යයට හානි පමුණුවන බවත් විශේෂඥ මතයයි. මෙම තත්ත්වයෙන් මිදීම සඳහා මී කිරි එලෙසම ආහාරයට ගැනීම වෙනුවට එයට ජලය මිශ්‍ර කර මෝරු ලෙස සකස් කර පානය කිරීම වඩාත් සුදුසුය. එමගින් එහි ඇති ඝනත්වය සහ සාන්ද්‍රණය අඩුවන අතර එය ශරීරයට වඩාත් හිතකර පානයක් බවට පත්වේ. එමෙන්ම වඩාත් ඇඹුල් රසැති මී කිරිවල ලැක්ටෝස් ප්‍රමාණය අඩු බැවින් දියවැඩියා රෝගීන්ට වඩාත් උචිත වන්නේ එවැනි නිෂ්පාදනයන්ය.
දියවැඩියා රෝගීන් මී කිරි හෝ මෝරු පානය කිරීමේදී එයට බැදපු සූදුරු කුඩු, සහිඳ ලුණු සහ ඕමෝ ස්වල්පයක් එක් කිරීම මගින් ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වේගවත් කර රුධිරයේ සීනි මට්ටම හදිසියේ ඉහළ යාම පාලනය කරගත හැකිය. මෙවැනි ස්වභාවික අමුද්‍රව්‍ය එක් කිරීමෙන් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත් වන අතර මී කිරි ආහාරයට ගැනීම නිසා ඇතිවිය හැකි අහිතකර බලපෑම් වළක්වා ගැනීමට අවස්ථාව සැලසේ. මී කිරිවල සාන්ද්‍රණය අඩු කර නිවැරදි අනුපාතයට දෛනික ආහාර වේලට එක් කර ගැනීම රෝගී තත්ත්වයන් කළමනාකරණය කිරීමට මහත් පිටුවහලක් වේ.
(The Hindu - Nidhi Yadav ලිපිය ඇසුරිනි)
