lal-kantas-net-worth-is-38-crores-not-8-sorry-we-got-it-wrong---sun

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු විකාශය කිරීම හේතුවෙන් හිරු රූපවාහිනී නාලිකාව විසින් ඔහු වෙත ප්‍රසිද්ධියේ සිය කණගාටුව පළ කරමින් නිවැරදි කිරීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, අදාළ සාවද්‍ය වාර්තාකරණය මඟින් සිය කීර්තිනාමයට හානි වූ බව පවසමින් අමාත්‍යවරයාගේ නීතිඥවරයා හරහා රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් (Letter of Demand) යොමු කිරීමෙන් අනතුරුවය.




2024 සහ 2025 වර්ෂ සඳහා අමාත්‍යවරයා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබූ වත්කම් ප්‍රකාශය පදනම් කරගනිමින් පසුගිය 16 වැනිදා අදාළ නාලිකාව සිය මුල් වාර්තාකරණය සිදු කර තිබුණි. එහිදී අමාත්‍යවරයා සතු සුරැකුම්පත්වල වටිනාකම සහ වත්කම්වල මුළු දළ වටිනාකම ගණනය කිරීමේදී තමන් අතින් බරපතළ දෝෂයක් සිදුව ඇති බව ඔවුන් මේ වන විට පිළිගෙන ඇත.

එම ගණනය කිරීමේ දෝෂය හේතුවෙන් අමාත්‍යවරයාගේ සුරැකුම්පත්වල මුළු වටිනාකම රුපියල් කෝටි 38යි ලක්ෂ 39කට අධික අගයක් ලෙසත්, මුළු දළ වත්කම රුපියල් කෝටි 46 ඉක්මවන බවත් මුල් ප්‍රවෘත්තියෙන් වාර්තා කර තිබුණි. එහෙත්, එය යළි නිවැරදිව ගණනය කිරීමේදී අදාළ සුරැකුම්පත්වල නියමිත වටිනාකම රුපියල් 1,43,475.80ක් වන බවත්, අමාත්‍යවරයා සතු මුළු දළ වත්කම්වල වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි 8ක් පමණක් වන බවත් ඔවුන්ගේ විශේෂ පුවත් විකාශය හරහා නිවේදනය කර සිටියි.




එම දෝෂ සහගත තොරතුරු හැරෙන්නට, වත්කම් ප්‍රකාශයේ අඩංගු සෙසු නිශ්චල දේපළ පිළිබඳ වාර්තාකරණයේ වරදක් නොමැති බව නාලිකාව පෙන්වා දෙයි. ඒ අනුව, තෑගි ඔප්පුවලින් හිමි වූ රුපියල් ලක්ෂ 60ක් වටිනා වර්ග අඩි 2500ක ගොඩනැඟිල්ලක් සහ පර්චස් 10ක ඉඩමක්, ලක්ෂ 25ක් වටිනා ගොඩනැඟිල්ලක් සහ පර්චස් 20ක ඉඩමක් මෙන්ම ලක්ෂ 560ක් වටිනා වර්ග අඩි 4500ක ගොඩනැඟිල්ලක් සහ පර්චස් 14ක ඉඩමක් ඊට අයත්ය. ඊට අමතරව පසු උරුමයෙන් ලැබුණු රුපියල් ලක්ෂ 25ක වටිනාකමකින් යුත් රූඩ් 2යි පර්චස් 7.26ක ඉඩමක් ද නිශ්චල දේපළ ලෙස නිවැරදිව වාර්තා කර තිබේ.

චංචල දේපළ ලෙස රුපියල් ලක්ෂ 16ක් වටිනා පවුම් 8ක රන් ආභරණ, ලක්ෂ 30ක් වටිනා රත්තරන් ග්‍රෑම් 120ක් සහ ලක්ෂ 45ක් වටිනා 2016 නිෂ්පාදිත මෝටර් රථයක් ඇති බව ද තහවුරු කර ඇත. එසේම, වාර්ෂික වැටුප් ආදායම ලෙස රුපියල් 738,918.16ක්, දේපළ බදු දීමෙන් ලක්ෂ 4ක්, විශ්‍රාම වැටුප ලෙස රුපියල් 771,400ක්, ස්ථාවර තැන්පතු පොලී ලෙස රුපියල් 2,755,851.97ක් සහ වත්මන් රැකියාවෙන් වාර්ෂිකව රුපියල් ලක්ෂ 18ක් උපයන බව අදාළ ප්‍රකාශයේ සඳහන් කරුණු බව යළිත් අවධාරණය කර තිබේ.



මාධ්‍ය සතු යම් කරුණක් නිවැරදි කිරීමේ අයිතිය යටතේ අදාළ සංශෝධිත ප්‍රවෘත්තිය විකාශය කිරීමට පියවර ගත් බව හිරු නාලිකාව ප්‍රකාශ කරයි. එමෙන්ම, මූලික වාර්තාකරණයේදී සිදු වූ ගණනය කිරීමේ අත්වැරැද්ද හේතුවෙන් අමාත්‍යවරයාට යම් අපහසුතාවක් සිදු වූයේ නම් ඒ පිළිබඳව සිය කණගාටුව පළ කරන බව ද අදාළ නිවේදනය මඟින් දන්වා තිබේ.