madonna-who-suddenly-came-to-a-concert-in-california-made-a-speech-based-on-astrology

කැලිෆෝනියාවේ පැවැත්වෙන කෝචෙලා (Coachella) සංගීත උළෙලේ සිය දෙවන සති අන්තයේ ප්‍රසංගය සඳහා සබ්‍රීනා කාපෙන්ටර් විසින් ලෝක ප්‍රකට පොප් ගායිකා මැඩෝනා ව පුදුම සහගත ලෙස වේදිකාවට කැඳවා තිබේ. සති අන්ත දෙකක් පුරාවට පැවැත්වෙන මෙම දැවැන්ත සංගීත උළෙලේදී කලාකරුවන්ට සිය ප්‍රසංගයන් නවමු මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන අතර, පළමු සතියේ ප්‍රසංගයෙන් පසුව මැඩෝනාගේ පැමිණීම පිළිබඳව විවිධ කටකතා පැතිරෙන්නට විය.

සබ්‍රීනා විසින් වේදිකාව අසල සිටි දහස් ගණනක් වූ ප්‍රේක්ෂකයින්ගෙන් තමන් කවදා හෝ මෙම ගීතය ගායනා කර ඇත්දැයි විමසීමත් සමඟම, මැඩෝනාගේ සුප්‍රකට 'Vogue' ගීතයේ නාද රටා වාදනය වන්නට වූ අතර, මැඩෝනා වේදිකාවට පිවිසියේ ප්‍රේක්ෂකයින් දැඩි ලෙස මවිතයට පත් කරමිනි.




මෙම ඓතිහාසික වේදිකාවට මැඩෝනා යළි ගොඩවන්නේ මීට වසර 20කට පෙර ඇයගේ 'Confessions On A Dance Floor part I' ඇල්බමය එහිදී එළිදැක්වීමෙන් අනතුරුව වීම විශේෂත්වයකි. වසර හතක නිහැඬියාවක් බිඳ දමමින් එළඹෙන ජූලි මස 3 වැනිදා සිය නවතම ඇල්බමය වන 'Confessions II' නිකුත් කරන බවට ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසුව මෙම අහඹු වේදිකාවට පිවිසීම සිදුවිය. මීට දශක දෙකකට පෙර තමන් පැළඳ සිටි බූට් සපත්තු, කෝර්සෙට් එක සහ ගුචී (Gucci) ජැකට්ටුවම අදටත් පැළඳ සිටීමට ලැබීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටට පත්වන බවත්, එය තමන්ට ඉතා හැඟීම්බර අවස්ථාවක් බවත් මැඩෝනා එහිදී පැහැදිලි කළාය.

'Vogue' ගීතයෙන් කොටසක් ගායනා කිරීමෙන් අනතුරුව, ඔවුන් දෙදෙනා එක්ව නව ගීතයක් ද ඉදිරිපත් කළහ. ඉන්පසුව ප්‍රේක්ෂකයින් ඇමතූ මැඩෝනා, වර්තමාන සමාජයේ සන්නිවේදන දුර්වලතා පිළිබඳව සිය අදහස් දැක්වූවාය. ජංගම දුරකථන හරහා විශාල වශයෙන් කතාබහ කළද, මිනිසුන් අතර සැබෑ සන්නිවේදනයක් සිදු නොවන බව ඇය අවධාරණය කළාය. එමෙන්ම, සබ්‍රීනාගේ ලග්නය වන වෘෂභ රාශියට නව සඳක් උදාවී ඇති බව පවසමින් ඇයව 'ඉතා හිතුවක්කාර' තැනැත්තියක ලෙස මැඩෝනා විසින් එහිදී විහිළුවට ද ලක් කළාය.




ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදපෙරදිග හමුදා මැදිහත්වීම් පිළිබඳව සෘජුවම සඳහන් නොකළද, ග්‍රහලෝකවල හැසිරීම් උදාහරණයට ගනිමින් ඇය සාමයේ පණිවිඩයක් ලබා දීමට ද උත්සාහ කළාය. යුද්ධයට අධිපති කුජ ග්‍රහයා විසින් පාලනය කරනු ලබන මේෂ රාශි සමයේදී ගැටුම් ඇතිවීමට ඉඩ ඇති බැවින්, මෙම මාසය පුරාවටම එකිනෙකා සමඟ සමඟියෙන් කටයුතු කරන ලෙසත්, මතභේද මඟහරවා ගන්නා ලෙසත් ඇය ඉල්ලා සිටියාය. සංගීතය යනු මිනිසුන්ගේ වෙනස්කම් පසෙකලා ඔවුන්ව එකමුතු කරන සහ සුවය ගෙන දෙන මාධ්‍යයක් බව පෙන්වා දුන් මැඩෝනා, 'Confessions' ඇල්බමයේ ගීත කොටස් කිහිපයක් ද ගායනා කළාය. පූජකවරුන් මෙන් සැරසුණු නර්තන ශිල්පීන් සහ කාන්තා ගායන වෘන්දයක් සමඟින් 'Like a Prayer' ගීතය ගායනා කරමින් ඔවුන් මෙම අපූර්ව ප්‍රසංගය නිමා කළ අතර, තමන්ට වඩා මිටි ගායිකාවක් සමඟ ගායනා කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව සබ්‍රීනාට ස්තූති කිරීමට ද මැඩෝනා අමතක කළේ නැත.

මේ අතරතුර, මැඩෝනා සිය නවතම ගීතය වන 'I Feel So Free' හදිසියේම නිකුත් කර ඇති අතර, එය iHeartRadio ජාලයට අයත් LGBTIQ+ ප්‍රජාව වෙනුවෙන් වෙන්වූ Pride Radio නාලිකාව ඔස්සේ පමණක් මෙම සති අන්තය පුරාවටම සෑම පැයකට වරක්ම ප්‍රචාරය වීමට නියමිතය. කෙසේ වෙතත්, මෙම නව ගීතය ඩිජිටල් වේදිකාවන් වෙත නිල වශයෙන් නිකුත් කරන දිනයක් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය කර නොමැත.

madonna-who-suddenly-came-to-a-concert-in-california-made-a-speech-based-on-astrology

madonna-who-suddenly-came-to-a-concert-in-california-made-a-speech-based-on-astrology

madonna-who-suddenly-came-to-a-concert-in-california-made-a-speech-based-on-astrology