රන්වීර් සිං ප්‍රධාන චරිතය නිරූපණය කරන ‘ධුරන්ධර් 2’ (Dhurandhar The Revenge) චිත්‍රපටය ගෝලීය බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා අතර තුන්වන ස්ථානයට පත්වීමට සමත් වී තිබේ. ඒ, අල්ලු අර්ජුන්ගේ ‘පුෂ්පා 2’ චිත්‍රපටය උපයා තිබූ ඉන්දීය රුපියල් කෝටි 1742ක ආදායම අභිබවා යමිනි.
විදෙස් රටවලින් රුපියල් කෝටි 420කට අධික මුදලක් උපයා ඇති මෙම චිත්‍රපටයේ සමස්ත ලෝක ආදායම මේ වන විට රුපියල් කෝටි 1748.91ක් ලෙස සටහන් වේ. මේ අනුව, එයට ඉදිරියෙන් පසුවන්නේ රුපියල් කෝටි 1788ක ආදායමක් ලැබූ එස්. එස්. රාජමෞලිගේ ‘බාහුබලි 2’ සහ රුපියල් කෝටි 2090ක් උපයා ඇති අමීර් ඛාන්ගේ ‘දංගල්’ යන චිත්‍රපට ද්විත්වය පමණි.ඉන්දීය දේශීය සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපැයූ හින්දි චිත්‍රපටය බවට පත්වීමේ ගෞරවය ද දැන් හිමිව ඇත්තේ මෙම චිත්‍රපටයටයි. එහි දළ දේශීය ආදායම රුපියල් කෝටි 1329.31ක් වන අතර ශුද්ධ ආදායම රුපියල් කෝටි 1110.47ක් වේ. මීට පෙර එම වාර්තාව හිමිකරගෙන සිටියේ රුපියල් කෝටි 890ක් උපයාගත් මෙහි පළමු චිත්‍රපටයයි. එමෙන්ම, චීනය සහ ගල්ෆ් කලාපය හැර ලොව පුරා වැඩිම ආදායමක් ඉපැයූ ඉන්දීය චිත්‍රපටය මෙන්ම ගෝලීය වශයෙන් රුපියල් කෝටි 3000 සීමාව පසු කළ එකම ඉන්දීය චිත්‍රපට මාලාව බවට ද ‘ධුරන්ධර්’ චිත්‍රපට මාලාව පත්ව ඇත.
කෙසේ වෙතත්, ප්‍රදර්ශනය ආරම්භ වී පස්වන සතියට එළඹෙන විට චිත්‍රපටයේ දෛනික ආදායම් ඉපැයීමේ වේගය යම් මන්දගාමී ස්වභාවයක් ගෙන තිබේ. 30 වන දිනය වූ සිකුරාදා රුපියල් කෝටි 2.70ක් ද, 31 වන දිනය වූ සෙනසුරාදා රුපියල් කෝටි 4.65ක් ද වශයෙන් එය ආදායම් ලැබූ අතර, එය ඊට පෙර සෙනසුරාදා ලැබූ රුපියල් කෝටි 13.50ක ආදායමට සාපේක්ෂව සැලකිය යුතු පසුබෑමකි. අක්ෂේ කුමාර් සහ ප්‍රියදර්ශන් සුසංයෝගයෙන් නිර්මාණය වූ ‘භූත් බංග්ලා’ නම් නවතම චිත්‍රපටය තිරගත වීම ආරම්භ වීම මෙම ආදායම් අඩුවීමට ප්‍රධාන හේතුවක් වී ඇති අතර, එම නව චිත්‍රපටය සිකුරාදා සහ සෙනසුරාදා දිනවලදී පිළිවෙළින් රුපියල් කෝටි 12ක් සහ 19ක් උපයාගෙන ඇත. ‘ධුරන්ධර් 2’ චිත්‍රපටයේ පළමු සතියේ ආදායම රුපියල් කෝටි 674.17ක් වූ නමුත්, දෙවන, තෙවන සහ සිව්වන සති වන විට එය පිළිවෙළින් කෝටි 263.65, 110.60 සහ 54.70 දක්වා ක්‍රමයෙන් අඩුවී ඇත.
ආදිත්‍ය ධර් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ඔත්තුසේවා ක්‍රියාදාම චිත්‍රපටය, ජ්‍යෝති දේශ්පාණ්ඩේගේ මූලිකත්වයෙන් යුත් Jio Studios සහ ආදිත්‍ය ධර් හා ලෝකේෂ් ධර්ට අයත් B62 Studios හි සම නිෂ්පාදනයකි. මෙහි කතා තේමාව ගෙතී ඇත්තේ රන්වීර් සිං විසින් පණපොවන ජස්කිරත් සිං නම් ඉන්දීය ඔත්තුකරුගේ අතීත කතාව සහ ඔහු පාකිස්ථානයේ ත්‍රස්තවාදී ජාලයකට රහසිගතව ඇතුළුවීම වටා ය. සංජේ දත්, අර්ජුන් රාම්පාල්, ආර්. මාධවන්, සාරා අර්ජුන් සහ රාකේෂ් බේඩි ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් පළමු චිත්‍රපටයේ මෙන්ම මෙහිද සිය රංගන දායකත්වය සපයා තිබේ.
මෙම චිත්‍රපටය නෙට්ෆිල්ක්ස් වෙත ඉදිරිපත් නොකරන බව නිෂ්පාදකයින් දන්වා ඇති අතර වෙනත් ස්ට්‍රීමින් සේවාවන් වෙතද තවම ඉදිරිපත් කර නැත. නිල ට්‍රෙලරය පහතින්

