karadiana-garbage-hill-is-still-burning

ඉකුත් අප්‍රේල් මස 10 වැනිදා පිළියන්දල, කරදියාන කසළ කළමනාකරණ මධ්‍යස්ථානයට අයත් කසළ කන්දේ හටගත් ගින්න මේ වන විට පාලනය කර තිබුණද, ඉන් අඛණ්ඩව පිටවන දුමාරය හේතුවෙන් ප්‍රදේශවාසීහු දැඩි පීඩාවකට පත්ව සිටිති. ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවන ඒකකය, මොරටුව ගිනි නිවන සේවාව සහ පිළියන්දල පොලිසිය ඒකාබද්ධව කුණු කන්ද හරහා කානුවක් කපා කසළ කොටස් වෙන් කරමින් මෙම ගින්න පැතිර යාම මැඩපැවැත්වීමට පියවර ගෙන තිබිණි.

එසේ වුවද, කසළ කන්දේ අළු යටින් තවමත් මතුවන දුම්රොටු සහ අපද්‍රව්‍ය අවට ගම්මාන රැසකට දැඩි බලපෑම් එල්ල කරමින් පවතී.




මෙම තත්ත්වය හමුවේ කරදියාන, බට්ටියවත්ත, දූවවත්ත, මැද්දෝවිට සහ තුම්බෝවිල යන ගම්මානවල පදිංචිකරුවන්ගේ ජන ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී තිබේ. කසළ කන්දෙන් නිකුත් වන විෂ සහිත දුමාරය සහ අපද්‍රව්‍ය ප්‍රදේශයේ ජල මූලාශ්‍ර වන ළිංවලට එක්වීම හේතුවෙන් එම ජලය කිසිසේත්ම ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇත. මේ හේතුවෙන් කුඩා දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයන්, ගර්භණී මව්වරුන් මෙන්ම ශ්වසනාබාධ සහ ඇදුම රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විටත් දැඩි අවදානමකට ලක්ව ඇති බවත්, ඇතැම් රෝගීන්ගේ තත්ත්වය උග්‍ර වී ඇති බවත් වාර්තා වේ.

විශේෂයෙන්ම කරදියාන ග්‍රාමයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් විශාල ප්‍රමාණයක් මෙම පාරිසරික ගැටලුවෙන් දැඩි සේ පීඩාවට පත්ව සිටිති. නිවෙස්වල භාවිත කරන උපකරණ, මුළුතැන්ගෙවල් මෙන්ම අඳින රෙදිපිළිවලට පවා මෙම දුමාරයෙන් දැඩි හානි සිදුවී ඇත. මීට අමතරව, අපද්‍රව්‍ය එක්වීමෙන් ජල අපවහන කානු අවහිර වී ජලය බැසයාමේ ගැටලු නිර්මාණය වී ඇති අතර, නිරන්තරයෙන් මුඛ ආවරණ පැලඳ සිටීමට සිදුවීම ප්‍රදේශවාසීන්ට මහත් පීඩාවක් වී තිබේ. පසුගිය දිනවල ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ කසළ කන්ද ආශ්‍රිතව දැඩි දුර්ගන්ධයක් හමා යාම හේතුවෙන් පවතින තත්ත්වය තවදුරටත් ඛේදවාචකයක් බවට පත්ව ඇත.




කසළ කන්දේ ස්ථාන කිහිපයකින්ම තවමත් දුම් පිටවන අයුරු දක්නට ලැබෙන බැවින්, යළිත් වරක් ගින්නක් වර්ධනය වනු ඇතැයි යන දැඩි භීතියකින් ප්‍රදේශවාසීහු පසුවෙති. තම ගම්මානවලට එල්ල වී ඇති මෙම සෞඛ්‍ය සහ පාරිසරික තර්ජනය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබුණද, මේ දක්වා ඊට නිසි මැදිහත්වීමක් හෝ ක්‍රමවත් විසඳුම් වැඩපිළිවෙළක් දියත් කර ඇති බවක් දක්නට නොලැබෙන බව ඔවුහු වැඩිදුරටත් පවසති.