i-took-art-first-in-korean-japanese-and-it

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයේ අචින්ත මිහිරංග රත්නායක ශිෂ්‍යයා සමත් වී තිබේ.




ඔහු මෙම විශිෂ්ට ජයග්‍රහණය අත්කරගෙන ඇත්තේ කොරියන්, ජපන් සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යන විෂයයන් සඳහා ඉහළම සාමාර්ථ හිමිකර ගනිමිනි. වසර තිස්පහක ඉතිහාසයක් ඇති වයඹ රාජකීය විද්‍යාලයට ජාතික මට්ටමේ මෙවැනි ඉහළ විභාග ජයග්‍රහණයක් හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය වීම ද සුවිශේෂී කරුණකි.

කෑගල්ල, බෙලිගල, මැටියගනේ ප්‍රදේශයේ පදිංචි අචින්ත තම මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ අලව්ව රතනාලංකාර විද්‍යාලයෙනි. ඉන් අනතුරුව කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයට ඇතුළත් වී ඇති ඔහු, එහිදී අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ නවයක් ලබාගැනීමට සමත් විය. භාෂාවන් හැදෑරීම කෙරෙහි වූ දැඩි ඇල්ම හේතුවෙන් ඔහු සිය උසස් පෙළ අධ්‍යාපනය සඳහා ජාත්‍යන්තර භාෂා ඉගැන්වීම් සම්බන්ධයෙන් වයඹ පළාතේ ප්‍රමුඛස්ථානයක් ගන්නා වයඹ රාජකීය විද්‍යාලය තෝරාගෙන තිබේ.




සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලට අමතරව කොරියන්, ජපන් මෙන්ම ජර්මන් යන විදෙස් භාෂා ද ඉතා චතුරව හැසිරවීමේ සුවිශේෂී හැකියාවක් අචින්ත සතුය. අධ්‍යාපන කටයුතුවලට පමණක් සීමා නොවූ ඔහු පාසලේ ශිෂ්‍ය නායකයකු මෙන්ම දක්ෂ නිවේදකයකු ලෙස ද කටයුතු කර ඇත. ජාත්‍යන්තර කොරියානු භාෂා පදනම මගින් දකුණු කොරියාවේදී වාර්ෂිකව සංවිධානය කරනු ලබන වැඩමුළුවකට සහභාගි වූ හෙතෙම, එහිදී රටවල් තිස්පහක් නියෝජනය කරමින් පැමිණි ශිෂ්‍යයන් අනූ අට දෙනකු අතරින් කොරියන් සංස්කෘතික පද්‍ය ගායනා අංශයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ද සමත් වී තිබේ.

අචින්තගේ පියා වන උදය ප්‍රිය ශාන්ත රත්නායක මහතා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන අතර ඔහු මේ වන විට විදෙස්ගතව රැකියාවක නිරතව සිටී. ඔහුගේ මව නිලන්ති නදී කුමාරි මහත්මිය ගෘහණියකි. අචින්තගේ එකම නැගණිය වන ආදිත්‍යා තිලක්ෂණා රත්නායක කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව ඉගෙනුම ලබන්නීය.



විභාගය ජයගැනීම සඳහා උසස් පෙළ ආරම්භයේ සිටම නිශ්චිත ඉලක්කයක් පවත්වාගත යුතු බව පවසන අචින්ත, අනුන්ගේ බලපෑමට හෝ රැල්ලට ගොස් විෂයයන් තෝරා නොගෙන තමන් කැමති හා හැකියාව ඇති විෂයයන් තෝරාගැනීමේ වැදගත්කම අවධාරණය කරයි. තෝරාගන්නා විෂයයන් තුනටම සමබරව අවධානය යොමු කළ යුතු බවත්, පාසලේදී මෙන්ම උපකාරක පන්තිවලදී පැනනගින ගැටලු ලැජ්ජාවකින් තොරව ගුරුවරුන්ගෙන් සහ යහළුවන්ගෙන් අසා දැනගත් බවත් ඔහු සඳහන් කරයි. කම්මැලි නොවී අලුයම අවදි වී ක්‍රමානුකූල සැලසුමකට අනුව පුනරීක්ෂණ කටයුතු සිදුකිරීම සිය සාර්ථකත්වයේ රහස බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා විශාල සහයෝගයක් ලබා දුන්, පසුගියදා සේවයෙන් විශ්‍රාම ගිය හිටපු විදුහල්පති එච්.එම්. ආරියදාස, වත්මන් වැඩබලන විදුහල්පති ප්‍රභාත් දිසානායක, උසස් පෙළ කලා අංශ ප්‍රධානී ප්‍රසාද් ජයසුන්දර සහ පන්තිභාර ආචාරිනි අනුෂා බස්නායක යන මහත්ම මහත්මීන්ටත්, පාසලේ සහ අමතර පන්තිවල සමස්ත ගුරු මණ්ඩලයටත් අචින්ත මිහිරංග සිය කෘතවේදීත්වය පළ කර සිටියේය.

i-took-art-first-in-korean-japanese-and-it

i-took-art-first-in-korean-japanese-and-it