a-sports-teacher-of-a-public-school-was-arrested-for-drug-trafficking

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින පාතාල නායකයෙකුගේ මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු හෙරොයින් තොගයක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, රජයේ පාසලක ක්‍රීඩා ගුරුවරයෙකු සහ යුද හමුදාවෙන් පලාගිය සෙබළෙකු දංකොටුව ප්‍රදේශයේදී ද, තවත් දහනව හැවිරිදි තරුණයෙකු මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී ද මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.




හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (01) දංකොටුව කටුකෙන්ද ප්‍රදේශයේදී සුදු පැහැති මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 130ක හෙරොයින් ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකාර ක්‍රීඩා ගුරුවරයා නීතියේ රැහැනට කොටු කරගෙන ඇත. නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි තිස්එක් හැවිරිදි මෙම පුද්ගලයා පඬුවස්නුවර ප්‍රදේශයේ ප්‍රකට රජයේ පාසලක සේවය කරන්නෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු භාවිත කළ මෝටර් රථයද මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ.

එමෙන්ම කටුකෙන්ද ප්‍රදේශයේදීම සිදුකළ තවත් වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් විස්සයි මිලිග්‍රෑම් දෙසීයක් සිය භාරයේ තබාගෙන සිටි හිටපු යුද හමුදා සෙබළා ද අදාළ අපරාධ විමර්ශන නිලධාරීන් කණ්ඩායම විසින්ම අත්අඩංගුවට ගනු ලැබීය. මොහු කුලියාපිටිය ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිට ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, තිස්හත් හැවිරිදි මෙම සැකකරු නිකවැරටිය, මහව, කරඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.




මේ ආකාරයෙන් දංකොටුවේදී අත්අඩංගුවට පත් වූ හිටපු හමුදා සෙබළා සහ කොච්චිකඩේදී අත්අඩංගුවට ගත් දහනව හැවිරිදි තරුණයා එකම මත්ද්‍රව්‍ය ජාලයක සාමාජිකයන් බවට තහවුරු වී ඇත. පොලිසිය පවසන පරිදි ඔවුන්ව මෙහෙයවා ඇත්තේ මේ වන විට ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ‘අඩා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ආර්.ඒ. සමන් කුමාර නැමැති පාතාල කල්ලි නායකයා සහ ඔහුගේ බිරිඳ විසිනි.