while-chasing-a-suspect-his-foot-tripped-and-the-duty-firearm-went-off

බලන්ගොඩ, මුගුණමලේ ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක සැඟවී සිටි සැකකරුවෙකු ලුහුබැඳ යාමේදී සිදුවූ හදිසි අනතුරකින් බලන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා බරපතළ තුවාල ලබා තිබේ. ඊයේ (01) අලුයම 4:50 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, පලායන සැකකරු පසුපස හඹා යාමේදී ස්ථානාධිපතිවරයා බිම ඇද වැටීමත් සමඟ ඔහුගේ ඉණෙහි රඳවා තිබූ රාජකාරි ගිනි අවිය අහඹු ලෙස පත්තුවීමෙන් මෙම වෙඩි වැදීම සිදුව ඇත.

මෙලෙස බරපතළ තුවාල ලබා ඇත්තේ බලන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක එම්.එල්. සමරවීර මහතායි.




කිසියම් අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මුගුණමලේ ප්‍රදේශයේ කැලෑවක රැඳී සිටින බවට පොලිසියට ලද බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම දියත් කර තිබුණි. ඒ අනුව, ස්ථානාධිපතිවරයා සමඟ පොලිස් සැරයන් දයානන්ද (53427) මහතා අදාළ ප්‍රදේශයට ගොස් ඇති අතර, එහිදී එක් සැකකරුවෙකු හදිසියේම පලායාමට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේදී අඳුරේම සැකකරු පසුපස ලුහුබැඳ ගිය ස්ථානාධිපතිවරයාගේ පය පැටලී බිම වැටී ඇති බවත්, එම ගැටීමත් සමඟම පිස්තෝලය පත්තුවී ඔහුටම වෙඩි වැදී ඇති බවත් මූලික විමර්ශනවලදී තහවුරු වී ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා විසින්ම සිය ජංගම දුරකථනය හරහා බලන්ගොඩ පොලිස් ස්ථානයට කථා කර සිද්ධිය පිළිබඳව කඩිනමින් දැනුම් දී තිබේ. අනතුරුව ඔහුව වහාම බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර, තත්ත්වය බරපතළ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව රත්නපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන ස්ථානීය පරීක්ෂණය බලන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් භාග්‍ය දිල්රුක්ෂි වික්‍රමසිංහ මෙනෙවිය විසින් ඊයේ දහවල් සිදු කරන ලද අතර, බලන්ගොඩ පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අඛණ්ඩව මෙහෙයවනු ලබයි.

while-chasing-a-suspect-his-foot-tripped-and-the-duty-firearm-went-off