
2016 වර්ෂයේ රාජගිරිය ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැදවූ බව කියන ජීප් රථය යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ රිය අනතුරට අදාළ මහාධිකරණ නඩුවේ සාක්ෂිකරුවකුට තර්ජනය කර බලපෑම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වින්දිතයන් හා සාක්ෂිකරුවන් සම්බන්ධ ආරක්ෂක කොට්ඨාසය විසින් මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ සාක්ෂිකරුවා විසින් සිය ආරක්ෂාව පිළිබඳව කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
මෙම සිදුවීමට අදාළව පසුගිය පෙබරවාරි මාසයේදී පාඨලී චම්පික රණවක මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අදාළ පොලිස් කොට්ඨාසය සඳහන් කරයි. අත්අඩංගුවට පත් වූ සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී, ඔහු සහ රණවක මහතාගේ දුරකථනය අතර හුවමාරු වී මකා දමන ලද වට්ස්ඇප් පණිවුඩ කිහිපයක් පිළිබඳව විමර්ශකයන්ගේ දැඩි අවධානය යොමු වී ඇති අතර, ඒ හරහා නඩුවට අදාළ වැදගත් සාක්ෂි විනාශ කර ඇත්දැයි බලවත් සැකයක් මතු වී ඇත. කෙසේ වෙතත්, අදාළ සැකකරු දේශපාලන හේතූන් මත එක්සත් ජනරජ පෙරමුණෙන් ඉවත්ව රණවක මහතා සමග යම් හිත් අමනාපයකින් පසු වූ අයෙකු බවද වැඩිදුරටත් වාර්තා වේ.
මකා දැමූ පණිවුඩ පිළිබඳව මතු වූ සැකය මත මෙම විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට පවරා තිබූ අතර, එහිදී පසුගිය මාර්තු 16 වැනි දින පැය පහකට අධික කාලයක් රණවක මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීමට ද පියවර ගෙන තිබිණි. අනතුරුව නැවතත් පරීක්ෂණ කටයුතු වින්දිතයන් හා සාක්ෂිකරුවන් සම්බන්ධ ආරක්ෂක කොට්ඨාසය වෙත පැවරීමෙන් පසු, වැඩිදුර විමර්ශන සඳහා සිය ජංගම දුරකථනය කොට්ඨාසය වෙත භාර දෙන ලෙස විමර්ශකයන් විසින් රණවක මහතාට දැනුම් දී තිබුණි.
එහෙත් ඔහු තම ජංගම දුරකථනය පොලිස් කොට්ඨාසය වෙත භාරදීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එය ලබාගැනීම සඳහා විමර්ශකයන් දිගින් දිගටම දැඩි උත්සාහයක නිරත වී ඇත. කෙසේ වෙතත්, අදාළ දුරකථනය අධිකරණයට භාරදීමට රණවක මහතා එකඟතාවය පළ කර ඇති බැවින්, අධිකරණ නියෝගයකට අනුව එළඹෙන 29 වැනිදා ඔහු එය අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව වින්දිතයන් හා සාක්ෂිකරුවන් සම්බන්ධ ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතා ප්‍රකාශ කළේය. එලෙස ඉදිරිපත් කෙරෙන දුරකථනය අධිකරණ නියෝගයක් මත වෝහාරික පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිත අතර, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු සමඟ යම් පණිවුඩ හුවමාරුවක් සිදු වී තිබේද යන්න එහිදී පුළුල් විශ්ලේෂණයකට ලක් කෙරෙනු ඇත.

