6-year-old-ihansa-piliyandala-hid-in-the-pool-during-her-relatives-new-years-party

සිනහවෙන් හා සතුටින් පිරී ගිය අවුරුදු සාදයක්, එක් නිමේෂයකින් කිසිදා නොමැකෙන කඳුළු කතාවක් බවට පත්වනු ඇතැයි ඒ පවුලේ කිසිවෙකුත් නොසිතන්නට ඇත.




පිළියන්දල දම්පේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයකට වැටී හය හැවිරිදි කුඩා දැරියක අවාසනාවන්ත ලෙස මරණයට පත්වීමේ ඛේදවාචකයක් පෙරේදා (18) සවස වාර්තා විය. මෙලෙස තම ජීවිත ගමන අකාලයේ නිමා කළේ පන්නිපිටිය, පැලැන්වත්ත ප්‍රදේශයේ මිහිඳුපුර පදිංචිව සිටි, ඇරැව්වල ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබමින් සිටි ඉහන්සා නමෝදී පෙරේරා නැමැති සිඟිත්තියයි.

මව විදේශගතව සිටින බැවින් මෙම සිඟිත්තිය හැදී වැඩී ඇත්තේ ඇගේ පියාගේ සහෝදරියගේ ආදරය හා රැකවරණය මැද වීම මෙම කතාවේ ඛේදනීයත්වය තවත් තීව්‍ර කරයි. සිද්ධිය වූ දින, පවුල් කිහිපයකට අයත් සමීපතම ඥාතීන් හතළිහකට ආසන්න පිරිසක් එක්ව පෙරවරුවේ සිටම අලුත් අවුරුදු සැමරුමක් සඳහා මෙම හෝටලයට පැමිණ තිබුණේ මහත් උද්‍යෝගයෙනි. දවස පුරා සතුටින් කාලය ගත කළ ඔවුහු සවස් යාමයේ ජල ක්‍රීඩා කරමින් විනෝද වීමේ අරමුණින් පිහිනුම් තටාකය අසලට රැස්ව සිටියහ.




සවස 4.15 ට පමණ කුඩා දරුවන් ඇතුළු දස දෙනෙකුගෙන් යුත් පිරිසක් ජල තටාකය අවට රැඳී සිටිද්දී, කිසිවෙකුගේත් අවධානයට ලක් නොවී මාරයා ඒ අසල දැවටෙමින් සිටියේය. පිහිනුම් තටාකයේ වැඩිහිටියන් සඳහා වෙන් වූ කොටසේ රැඳී සිටි දැරියගේ මාමා කෙනෙකුට එක්වරම ජලය යට තිබී කළු පැහැති ගුලියක් වැනි යමක් දිස්වී ඇත. ඒ පිළිබඳව විමසිලිමත් වී බැලූ ඔහුට දැකගත හැකි වූයේ තම කුඩා ඥාති දියණිය ජලය යට ගිලී සිටින අයුරුයි. වහා ක්‍රියාත්මක වූ ඔහු තටාකයට පැන දැරිය ගොඩට ගෙන මූලික ප්‍රථමාධාර ලබා දෙමින් පිළියන්දල දිසා රෝහල වෙත ක්ෂණිකව රැගෙන යාමට කටයුතු කළේය.

දිසා රෝහලේ වෛද්‍යවරුන් දැරියගේ ජීවිතය බේරාගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරුවද, ඒ වන විටත් ඉහන්සා දැරියගේ අවසන් හුස්ම පොද වාතලයට මුසුවී හමාර බව රෝහල් ප්‍රකාශකයෙකු තහවුරු කළේය. සිද්ධිය වූ ස්ථානය සහ පිළියන්දල රෝහලේ තැන්පත් කර තිබූ මෘතදේහය පරීක්ෂා කළ පිළියන්දල කැස්බෑව හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙසත්, මීට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් පොලිසියට නියෝග කර තිබේ.



පිළියන්දල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල ප්‍රසාද් සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත, උපපොලිස් පරීක්ෂක කේ.ඩී.පී. ලියන ආරච්චි සහ කොස්තාපල් වරුණ (102111) යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති. දරුවන් කෙරෙහි අවධානය එක් තත්පරයකට හෝ ගිලිහී යාම කොතරම් බරපතළ ප්‍රතිඵල ගෙන ආ හැකිද යන්න නිහඬවම මතක් කර දෙමින්, ඥාතීන්ගේ සිනා හඬින් පිරී ගිය ඒ පරිසරය දැන් කුඩා ඉහන්සාගේ වියෝවෙන් නැඟෙන කඳුළු සහ සුසුම් හඬින් පමණක් ඉතිරි වී ඇත.

6-year-old-ihansa-piliyandala-hid-in-the-pool-during-her-relatives-new-years-party

6-year-old-ihansa-piliyandala-hid-in-the-pool-during-her-relatives-new-years-party

6-year-old-ihansa-piliyandala-hid-in-the-pool-during-her-relatives-new-years-party