gmoa-health-minister-daphry-calls-off-strike

දේශපාලන අතපෙවීම් මත සිදුකරන වෛද්‍ය ස්ථානමාරුවීම් අත්හිටුවීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (06) පෙරවරු 8.00 සිට තාවකාලිකව අත්හිටුවීමට එම සංගමය තීරණය කර ඇත.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ඍජුවම සාකච්ඡා කර විසඳුම් සෙවීමට නිල වශයෙන් අවස්ථාවක් හිමිවීම මෙම වැඩවර්ජනය මෙලෙස තාවකාලිකව නතර කිරීම සඳහා පදනම් වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා විසින් මාධ්‍ය වෙත තහවුරු කරන ලදී. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සෞඛ්‍ය වෘත්තිකයින් සේවයෙන් ඉවත් කරන බවට සිදුකළ බව කියන ප්‍රකාශය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවා පෙන්වන ලෙස වෛද්‍ය සංගමය අමාත්‍යවරයාට විවෘත අභියෝගයක් එල්ල කර තිබුණි.



අමාත්‍යවරයාගේ ප්‍රකාශ සහ ක්‍රියාකලාපය අතර පරස්පරතාවයක් පවතින බව පවසා තිබූ සංගමයේ ලේකම් වෛද්‍ය සුගතදාස මහතා, වැරදි තීරණ ගෙන ඉතිහාසයේ කුණු කූඩයට වැටුණු කළු චරිත බවට පත්වූ සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ලැයිස්තුවට එක් නොවන ලෙසද ඔහුට අනතුරු අඟවා තිබුනි. එමෙන්ම, වියරුවෙන් මිදී විවෘත සංවාදයක් සඳහා පැමිණෙන ලෙසද සංගමය අමාත්‍යවරයාට ආරාධනා කර තිබූ අතර එයට ඇමතිවරයා ප්‍රතිචාර දක්වන ලදි. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද දිනයේ විදෙස්ගත වීමට නියමිතව ඇති අතර, ඔහු යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේදී වෛද්‍යවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් වන මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර තිබේ.