
කළුබෝවිල ප්‍රදේශයේ මහල් නිවාසයකදී තියුණු ආයුධයකින් පහර දී චීන ජාතික කාන්තාවක් ඝාතනය කිරීම සහ තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව පළාගොස් සැඟව සිටි ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 26ක් වන අදාළ චීන ජාතික සැකකරු කොල්ලුපිටිය, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ පිහිටි හෝටලයක රැඳී සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. එම අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 280ක ප්‍රමාණයක් සහ කැමරා තුනක් ද පොලිස් භාරයට ගෙන තිබෙන අතර, සැකකරු අද (06) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මෙම ඝාතන සිද්ධිය පසුගිය මාර්තු මස 23 වන දින කොහුවල, කළුබෝවිල පීරිස් මාවතේ පිහිටි 'කෙන්ට් රෙසිඩන්ස්' නමැති සිව්මහල් නිවාස සංකීර්ණයේදී සිදුවී තිබුණි. එහි කුලී පදනම මත පදිංචිව සිටි 28 හැවිරිදි ලීවා වියාන් නමැති චීන ජාතික තරුණියක් මෙලෙස ඝාතනයට ලක්වූ අතර, එම අවස්ථාවේ ඇය සමඟ සිටි ඇයගේ වත්මන් පෙම්වතා බවට සැකකෙරෙන තවත් චීන ජාතිකයෙකුට ද පිහි ඇනුම් එල්ල වී බරපතළ තුවාල සිදුවිය.
අපරාධය සිදුකළ වං හුයින් නමැති මෙම සැකකරු ඝාතනයට ලක්වූ කාන්තාවගේ හිටපු පෙම්වතා වන අතර, තුන්කොන් ප්‍රේම සම්බන්ධතාවක් මත ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඔහු මෙම පලිගැනීම සිදුකර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඝාතනය සිදුකිරීමේ අරමුණින්ම අදාළ නිවාස සංකීර්ණයේ ඇය රැඳී සිටි නිවසට යාබද නිවසක් කුලියට ගෙන දින කිහිපයක් රැඳී සිටිමින් සැලසුම් සහගතව මෙම අපරාධය සිදුකර ඔහු මෙලෙස පළාගොස් තිබුණි. කොහුවල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන සිදු කරනු ලබයි.


