පාසල් තුළ සංවිධානය කෙරෙන විවිධ උත්සව සහ සැමරුම් සඳහා අධික ලෙස මුදල් වියදම් කිරීම වළක්වන ලෙසට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දිවයිනේ සියලුම විදුහල්පතිවරුන් වෙත දැඩිව දැනුම් දී ඇත. දෙමව්පියන් වෙත කිසිදු අමතර ආර්ථික බරක් නොපටවමින්, ඉතාමත් චාම් සහ අවම වියදම් සහිතව අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා විසින් මෙහිදී අවධාරණය කර තිබේ.
මෑත කාලීනව පාසල් මට්ටමින් පවත්වනු ලබන මෙවැනි උත්සව කටයුතු සඳහා විශාල වශයෙන් මුදල් නාස්ති කරන බවට අමාත්‍යාංශය වෙත තොරතුරු වාර්තා වී ඇත. මීට පෙර අවස්ථාවලදී ද මේ සම්බන්ධයෙන් නිසි උපදෙස් ලබා දී තිබුණ ද, එම උපදෙස් සහ නිර්දේශ නොසලකා හරිමින් ඇතැම් පාසල් බලධාරීන් මෙවැනි උත්සව සංවිධානය කර ඇති බව ලේකම්වරයා පෙන්වා දෙයි.
ඒ අනුව, මින් ඉදිරියට සියලුම පාසල් කටයුතුවලදී මූල්‍ය විනයක් පවත්වා ගැනීම අනිවාර්ය කරනු ලැබ ඇත. පාසල් මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් රජය මගින් නිකුත් කර තිබෙන 54/2023 දරන චක්‍රලේඛයට මෙන්ම අනෙකුත් සියලුම මූල්‍ය චක්‍රලේඛ හා රෙගුලාසිවලට පූර්ණ වශයෙන් අනුගත වෙමින් අදාළ කටයුතු සම්පාදනය කළ යුතු බවට ද නාලක කලුවැව මහතා වැඩිදුරටත් නියෝග කර තිබේ.



