a-record-from-the-player-who-took-nine-wickets-for-four-runs-in-a-t20-match

බ්‍රසීල ජාතික කණ්ඩායම නියෝජනය කරන ලෝරා කාර්ඩෝසෝ ක්‍රීඩිකාව විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු නවයක් දවාගත් ලොව ප්‍රථම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බවට පත්වෙමින් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ. ලෙසෝතෝ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී පන්දුවාර තුනක් පමණක් යවමින් ඇය ලකුණු හතරකට කඩුලු නවයක් (9-4) දවා ගනිමින් මෙම සුවිශේෂී දස්කම දැක්වීමට සමත් වූවාය.




ලකුණු 203ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ලෙසෝතෝ කණ්ඩායම පන්දුවාර 6.2ක් තුළදී ලකුණු 13කට සීමා කිරීමට කාර්ඩෝසෝගේ මෙම ප්‍රබල පන්දු යැවීම හේතු විය. මෙම විශිෂ්ට වාර්තාවත් සමඟින් මීට පෙර භූතානයේ සෝනම් යෙෂේ විසින් 2025 වසරේ මියන්මාරයට එරෙහිව පිරිමි විස්සයි විස්ස තරගයකදී ලකුණු හතකට කඩුලු අටක් දවාගනිමින් තබා තිබූ සමස්ත වාර්තාව මෙන්ම, 2024 වසරේදී ඉන්දුනීසියාවේ රොහ්මාලියා රොහ්මාලියා විසින් මොංගෝලියාවට එරෙහිව ලකුණු ලබා නොදී කඩුලු හතක් දවාගනිමින් කාන්තා ක්‍රිකට් පිටියේ තබා තිබූ වාර්තාවද බිඳ වැටුණි.

විසි එක් හැවිරිදි මෙම යොවුන් ක්‍රීඩිකාව සිය කඩුලු දඩයම ආරම්භ කළේ පිට පිටම යැවූ පන්දු පහකදී කඩුලු පහක් දවා ගනිමිනි. එහිදී ඇය යැවූ දෙවන පන්දුවාරයේ අවසන් පන්දු තුනට සහ සිව්වන පන්දුවාරයේ මුල් පන්දු දෙකට කඩුලු බිඳ වැටුණු අතර, ඒ වන විට ලෙසෝතෝ ලකුණු පුවරුව ලකුණු අටකට කඩුලු පහක් ලෙස සටහන් විය. ඉන් නොනැවතුණු ඇය සිව්වන පන්දුවාරයේ ඉතිරි පන්දු තුළදී තවත් කඩුලු දෙකක්ද, පස්වන පන්දුවාරයේදී තවත් කඩුලු දෙකක්ද දවා ගැනීමට සමත් වූවාය.




කෙසේ වෙතත්, ලෙසෝතෝ ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ලින්ඩිවේ පොලාකිව ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමට මේරියන් ආටර් සමත් වීමත් සමඟ කාර්ඩෝසෝට එක් ඉනිමකදී කඩුලු 10ම දවාගැනීමේ දුර්ලභ අවස්ථාව අහිමි වී ගියේය. පොලාකි යනු එම තරගයේදී ලකුණක් හෝ ලබා ගැනීමට සමත් වූ ලෙසෝතෝ පිතිකාරිනියන් තිදෙනාගෙන් එක් අයෙකි.

පළමු ස්ලිප් ක්‍රීඩිකාව ලෙස පන්දු රකිමින් කාර්ඩෝසෝගේ මෙම සියලු දැවීයාම් සියැසින් දුටු බ්‍රසීල ක්‍රිකට් ආයතනයේ සභාපතිනී රොබර්ටා මොරෙට්ටි ප්‍රකාශ කළේ ලෝරා යනු අනාගතයේදී එංගලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ ඉහළම තලයේ ක්‍රිකට් ක්‍රීඩා කළ හැකි අතිමහත් හැකියාවක් සහිත ක්‍රීඩිකාවක් බවයි. බ්‍රසීලයේ බිම් මට්ටමේ වැඩසටහන් හරහා පැමිණි ඇය රටින් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩිකාවක් බවත්, ඇයගේ කැපවීම සහ ක්‍රීඩාව කෙරෙහි ඇති ලැදියාව දැකීම මහත් සතුටක් බවත් සභාපතිනිය වැඩිදුරටත් අවධාරණය කළාය.



බොට්ස්වානාහි අගනුවර වන ගැබරෝන් හිදී කණ්ඩායම් හයකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන කලහාරි කාන්තා විස්සයි විස්ස තරගාවලිය යටතේ මෙම තරගය පැවැත්වුණු අතර, බ්‍රසීල කණ්ඩායම මේ දක්වා මුහුණ දුන් තරග පහේම අපරාජිතව සිටීමට සමත්ව තිබේ.