එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ ළිප ගිනි මෙළවීමේ චාරිත්‍රය ඉටු කිරීමේදී ප්ලාස්ටික් හෝ පොලිතීන් භාවිත කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි. කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මෙන්ම ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය යමුනා රාජපක්ෂ මහත්මිය පෙන්වා දෙන්නේ, ඉතා පහසුවෙන් ළිප දල්වා ගැනීමේ අරමුණින් ඇතැම් ගෘහණියන් විසින් දහනය කරනු ලබන මෙම ද්‍රව්‍ය හේතුවෙන් ඔවුන්ට පෙනහලු පිළිකා වැලඳීමේ දැඩි අවදානමක් පවතින බවයි.
පසුගිය 08 වැනිදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව අනාවරණය කළාය.ප්ලාස්ටික් සහ පොලිතීන් පිලිස්සීමේදී සිදුවන අර්ධ දහනය හරහා කාබනික අංශුවලට අමතරව ඊයම් සහ කැඩ්මියම් වැනි ඉතා විෂ සහිත බැර ලෝහ වර්ග පරිසරයට එකතු වෙයි. මෙලෙස මුදාහැරෙන රසායනික දුම් ආඝ්‍රාණය කිරීම දුම්පානය කිරීමෙන් සිදුවන සෞඛ්‍ය හානියටත් වඩා බෙහෙවින් දරුණු බව විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කළාය. තම ජීවිත කාලය තුළ කිසිදු දිනෙක සිගරට්ටුවක් හෝ දැක නොමැති කාන්තාවන් පවා මේ වන විට පෙනහලු පිළිකාවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර, ඊට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ මෙලෙස ප්ලාස්ටික් සහ පොලිතීන් යොදාගෙන ළිප ගිනි දැල්වීම බව තහවුරු වී තිබේ.
ප්‍රමාණවත් පරිදි වාතාශ්‍රය නොමැති මුළුතැන්ගෙවල් තුළ දර ළිප් භාවිත කිරීම හේතුවෙන් පිටවන දුම සහ විෂ අංශු එම කුඩා ඉඩකඩ තුළම රැඳී පැවතීම ගෘහස්ථ වායු දූෂණයට සෘජුවම බලපායි. මෙහිදී ළිප අසල කටයුතු කරන මවට පමණක් නොව, ඇය අසල දැවටෙන කුඩා දරුවන්ටද මෙම තත්ත්වය දැඩි ලෙස බලපාන අතර, ඔවුන්ගේ ඉතා සියුම් පෙනහලු පවා මේ හරහා පහසුවෙන් අක්‍රිය වීමේ අවදානමට ලක් වේ. ඊට අමතරව, බට වැනි උපකරණ භාවිත කරමින් ළිපට පිඹීමෙන් ද දුම ආඝ්‍රාණය වී විවිධ පෙනහලු ආසාදන ඇතිවිය හැකි බැවින්, ප්ලාස්ටික් හා පොලිතීන්වලින් තොරව හුදෙක් දර පමණක් යොදාගෙන ළිප දැල්වීමෙන් ගෘහණියන්ට තම සෞඛ්‍යය යම්තාක් දුරකට හෝ ආරක්ෂා කරගත හැකි බව වෛද්‍යවරිය වැඩිදුරටත් පැහැදිලි කළාය.
මෙම උත්සව සමයේදී අලුත් අවුරුදු චාරිත්‍රවලට සමගාමීව රතිඤ්ඤා පත්තු කිරීමෙන් ද දරුණු ලෙස වායු දූෂණයක් සිදුවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එලෙස රතිඤ්ඤා දහනය වීමේදී වායුගෝලයට නිකුත් වන අහිතකර රසායනික ද්‍රව්‍ය සහ කුඩා අංශු පැය විස්සකට ආසන්න කාලයක් වායුගෝලය තුළ රැඳී පවතින බවද අනාවරණය වී ඇත.



