cid-interrogates-deshbandu-who-provided-shelter-to-the-underworld-in-the-kandy-house

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් බව කියන මහනුවර ප්‍රදේශයේ පිහිටි නිවසක පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු සැඟවී සිටීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ. පොලිස් ආරංචි මාර්ග තහවුරු කරන ආකාරයට ඊයේ (08) දිනයේදී පැයක පමණ කාලයක් පුරාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් හිටපු පොලිස්පතිවරයාගෙන් මෙම කරුණු විමසීම සිදු කර ඇත.




මෙම සිදුවීම පසුගියදා අම්බලන්ගොඩ ප්‍රදේශයේදී සිදුවූ ඝාතනයක විමර්ශනවලට සම්බන්ධ එකක් බව පැවසේ. සමගි ජන බලවේගය නියෝජනය කරමින් අම්බලන්ගොඩ නගර සභාව සඳහා කණ්ඩායම් නායකයා ලෙස ඉදිරිපත්ව සිටි හිරාන් කෝසල නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව පොලිසිය විසින් පරීක්ෂණ පවත්වනු ලැබීය. ප්‍රසිද්ධ විදුලි උපකරණ අලෙවි ආයතනයක අම්බලන්ගොඩ ශාඛාවේ කළමනාකරු ලෙසද කටයුතු කළ ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අතරතුරදී, ඊට සම්බන්ධ යැයි සැකකෙරෙන පාතාල අපරාධකරුවන් දෙදෙනෙකු දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඉහත කී නිවසේ රැඳී සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකාය එම නිවස වටලා අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක්ද දියත් කර තිබුණි.

කෙසේ වෙතත්, හිටපු පොලිස්පතිවරයාගෙන් සිදුකළ මෙම ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිඥ උදය කුමාර වුට්ලර් මහතාගෙන් විමසීමක් කර ඇත. එහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රශ්න කර ඇති බවක් තමන් මේ දක්වා නොදන්නා බවයි. තවද, අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමෙන් අනතුරුව ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාදීමට කටයුතු කරන බවද ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.