anuradhapura-zonal-education-director-mahesh-manjarika-found-guilty-on-5-charges-including-three-financial-charges

අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂි මංජරිකා හෙට්ටිආරච්චි මහත්මිය මූල්‍ය චෝදනා තුනක්, කූට ලේඛන සැකසීමක් සහ පරිපාලන දුර්වලතා පිළිබඳ චෝදනාවක් ඇතුළු එල්ල වී තිබූ සියලුම චෝදනාවලට වරදකරු බවට උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.ජී. ජයසිංහ මහතා විසින් නිල වශයෙන් තීන්දු කර තිබේ.

පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ප්‍රධාන ලේකම්වරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2013 දෙසැම්බර් 31 දිනැතිව සහ 2024 ජූලි 16 දිනැතිව සංශෝධනය කර නිකුත් කළ චෝදනා පත්‍රවලට අදාළව පැවැත්වූ විධිමත් විනය පරීක්ෂණයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. අදාළ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ වාචික හා ලිඛිත සාක්ෂි මෙන්ම පරීක්ෂණ නිලධාරීවරයාගේ නිර්දේශ පදනම් කරගනිමින්, එන්සීපී/සීඑස්/ඊඩී/15/111/2/40(1) දරන ලිපිය මගින් ඔහු විසින් මෙම විනය නියෝගය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වෙත දැනුම් දී තිබේ.




මෙම වැරදි සම්බන්ධයෙන් ආයතන සංග්‍රහය යටතේ ඇයට පනවා ඇති දඬුවම් වන්නේ, ඇයගේ එක් වැටුප් වර්ධකයක් විලම්භනය කිරීම සහ අධීක්ෂණ රාජකාරිවලට සහභාගී නොවී ලබාගත් රුපියල් 15,000ක මුදල දින දහහතරක් ඇතුළත යළි රජයට ගෙවන ලෙසට නියෝග කිරීමයි. කෙසේ වෙතත්, රාජ්‍ය සේවකයෙකු සේවයෙන් පහ කිරීමට තරම් බරපතළ මෙන්ම කූට ලේඛන සැකසීම වෙනුවෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයකින් වසර දෙකක සිරදඬුවමක් වුවද නියම කළ හැකි මෙවැනි චෝදනා පහකටම වරදකරු වූ නිලධාරිනියකට මෙතරම් ලිහිල් දඬුවමක් ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි මතභේදයක් නිර්මාණය වී ඇත.

මෙවැනි ලිහිල් දඬුවමක් පැනවීම තුළින් රාජ්‍ය සේවය හාස්‍යයට ලක් වන්නේ නොවේද යන්න සහ මීට පෙර සුළු මූල්‍ය අක්‍රමිකතා වෙනුවෙන් පවා ඇතැම් නිලධාරීන් සේවයෙන් පහකර ඇති පසුබිමක මෙවැනි තීරණයක් ගත්තේ මන්දැයි මාධ්‍ය කළ විමසීමකදී ප්‍රධාන ලේකම් ජයසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙය කිසිදු බලපෑමක් මත ලබාදුන් ලිහිල් දඬුවමක් නොවන බවයි. තවද, මෙවැනි බරපතළ චෝදනාවලට වරදකාරියක වූ නිලධාරිනියකට පාසල් 130ක සිසුන් 65,000ක් සහ ගුරුවරුන් 3,800ක් සිටින අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පරිපාලන කටයුතු තවදුරටත් මෙහෙයවීමට ඉඩදීම සදාචාරාත්මකදැයි නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ ඒ පිළිබඳව තීරණය කළ යුත්තේ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් බවයි.




මේ අතර, උතුරු මැද ප්‍රධාන ලේකම්වරයා විසින් ලබාදී ඇති මෙම විනය දඬුවම නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි බව පෙන්වා දෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එම පැමිණිල්ල මගින් ඔහු අදාළ කොමිසමෙන් ඉල්ලා ඇත්තේ මෙම ලිහිල් දඬුවම් නියෝගය සම්බන්ධයෙන් කඩිනම් හා විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙසයි.
(දිනමිණ)