
ඩුබායි රාජ්‍යයට පළාගොස් එහි සැඟවී සිටින ප්‍රබල පාතාල නායකයෙකු ලෙස සැලකෙන බඩෝවිට අසංකගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් කෝටි හතර හමාරකට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් ද සමඟින් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් එකසිය පනහකට අධික ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් මෙහිදී සොයාගනු ලැබ ඇත.
සංජීව ප්‍රනාන්දු හෙවත් "ටූ ටෝන්" යන අන්වර්ථ නාමයෙන් පාතාල ලෝකය තුළ ප්‍රසිද්ධියට පත්ව සිටින හතළිස් නව හැවිරිදි මෙම සැකකරු, රත්මලාන ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා තිබේ. එම කුලී නිවසේ සඟවා තිබූ මෙම හෙරොයින් තොගය, අවට ප්‍රදේශ රැසක මත්ද්‍රව්‍ය ජාලය වෙත බෙදා හැරීම සඳහා සූදානම් කරමින් සිටියදී මෙලෙස නීතියේ රැහැනට කොටු වී ඇත.
විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇති පරිදි, මොහු සාමාන්‍ය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නොවන අතර පොලිස් වැටලීම්වලින් ගැලවීම සඳහා විශේෂ පුහුණුවක් ලැබූවෙකි. ආරක්ෂක අංශ මුළා කිරීම, වැටලීම් අතරතුරදී සූක්ෂම ලෙස පලා යාම සහ නීතියේ සිදුරු භාවිත කරමින් නීතිමය ආවරණය ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට මනා පළපුරුද්දක් පවතින බව ද පොලිසිය සඳහන් කරයි.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් මෙම මෙහෙයුම දියත් කරනු ලැබීය. එම බලකායේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ නියෝග සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීම මත සිදු කළ මෙම වැටලීම සඳහා උප පොලිස් පරීක්ෂක චතුරංග ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. ඊට පොලිස් සැරයන්වරුන් වන විජේරත්න (409) සහ සම්පත් (74313) මෙන්ම, පොලිස් කොස්තාපල්වරුන් වන අෂාන් (39850), ජයසිංහ (93728), හේමන්ත (100683), ශ්‍රීමන්ත (105123), ජයසුන්දර (102726), පෙරේරා (106039) සහ කාන්තා පොලිස් කොස්තාපල් සමිතා (13103) යන නිලධාරීහු ද සිය දායකත්වය ලබා දී තිබේ. අත්අඩංගුවට පත් සැකකරු මේ වන විට රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම්වලට ලක් කරමින් පවතියි.

