before-seeking-world-peace-let-us-all-make-peace-at-home---panjakara-thero

ලෝක සාමය උදෙසා ගෝලීය පා ගමනක නිරත වී සිටින වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඊයේ (22) ඓතිහාසික රන්ගිරි දඹුලු රජමහා විහාරස්ථානයට වැඩම කළ අතර, එහිදී උන්වහන්සේ අවධාරණය කළේ ලෝක සාමය ප්‍රාර්ථනා කිරීමට පෙර සෑම පුද්ගලයෙකුම තමන්ගේ නිවස තුළ සාමය ගොඩනඟා ගත යුතු බවයි. වෛරය, ක්‍රෝධය සහ ඊර්ෂ්‍යාව වැනි දුර්වලතා බැහැර කිරීමෙන් මුළු මහත් ලෝකයටම සාමය උදා කළ හැකි බවත්, ජීවිතයේ සෑම දිනයක්ම සාමය පිරුණු දිනයක් බවට පත් කර ගැනීම අත්‍යවශ්‍ය බවත් උන්වහන්සේ එහිදී පැහැදිලි කළහ.




බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහමට අනුව ජීවිතය හැඩගස්වා ගනිමින් නිවන් මඟ වෙත යොමු වීමේ වැදගත්කම පැහැදිලි කළ පඤ්ඤාකර හිමියන්, සෑම කටයුත්තක්ම නිසි සිහියෙන් යුතුව සිදු කිරීමේ වටිනාකම පෙන්වා දුන්හ. විශේෂයෙන්ම තරහව හෝ වෛරය ඇති වන අවස්ථාවලදී එය පාලනය කර ගැනීම සඳහා අවධානයෙන් යුතුව හුස්ම ගැනීමේ වැදගත්කම උන්වහන්සේ විස්තර කළ අතර, ගැඹුරින් හුස්ම ගැනීම මඟින් සිතේ පවතින කෝපය පහසුවෙන් මැඩපවත්වා ගත හැකි බවද ප්‍රකාශ කළහ.

වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකු ජංගම දුරකථන භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටීම මානසික සාමයට බාධාවක් වී ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ, නිවස තුළ සාමය ඇති කර ගැනීම සඳහා එය පාලනය කර ගත යුතු ආකාරය පිළිබඳව ද උපදෙස් ලබා දුන්හ. නින්දට යාමට පැයකට පෙර සහ උදෑසන අවදි වී පළමු පැය තුළ මෙන්ම වැසිකිළියට යන අවස්ථාවලදී ජංගම දුරකථන භාවිතයෙන් වැළකීම වැනි ප්‍රායෝගික පුරුදු මඟින් පුද්ගලික මෙන්ම පවුලේ සාමය ද වර්ධනය කර ගත හැකි බව එහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.




පඤ්ඤාකර හිමියන් විසින් සිදු කරන ලද මෙම දේශනය, ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇලන් ගෝතම බුද්ධ විහාරයේ විහාරාධිපති ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති නායක ස්වාමීන් වහන්සේ විසින් සිංහල භාෂාවට පරිවර්තනය කරමින් ජනතාවට පැහැදිලි කර දෙන ලදී. අනුරාධපුරයේ සිට දඹුල්ල දක්වා වැඩම කළ මෙම විදේශීය දූත සඟරුවන සමඟ ලොව පුරා සංචාරය කරන 'ආලෝක' නමින් හැඳින්වෙන සුනඛයා ද මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයකි.

මෙම චාම් උත්සවයේදී ඓතිහාසික රන්ගිරි දඹුලු රජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල මහා නායක ස්වාමීන් වහන්සේ විසින් විදේශීය භික්ෂූන් වහන්සේලා වෙත දඹුලු විහාරයේ ලාංඡනය සහිත සිවුරක් සමරු තිළිණයක් ලෙස පිළිගන්වනු ලැබූහ. බුද්ධ ශාසන සහ ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා විසින් මෙහිදී පිළිගැනීමේ කතාව සිදු කරන ලද අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.