complaints-from-the-presidents-secretary-to-cid-to-find-coal-scams-from-2009-till-now

ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල පැමිණිල්ලක් ගොනු කර තිබේ.




ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ වර්ෂ 2009 සිට මේ දක්වා සිදු කර ඇති සියලුම ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් මෙමගින් අපේක්ෂා කරන බවයි. විවිධ විගණන වාර්තා මගින් සහ පාර්ලිමේන්තු විවාද තුළදී මෙම ආනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතුව ඇති බරපතළ කරුණු පදනම් කරගනිමින් ජනාධිපති ලේකම්වරයා විසින් මෙම පියවර ගෙන ඇත.

මේ අතර, මෙම ගල් අඟුරු අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පූර්ණ බලතල සහිත විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.




බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවෙන් අනතුරුව අදාළ කොමිසම ස්ථාපිත කිරීමට නියමිත බවත්, එහි විමර්ශන කටයුතු සඳහා දැනට සේවයේ නියුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කරනු ඇති බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.