
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මහජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 වනදා දක්වා පෙට්‍රල් භාවිත කරන වාහන සඳහා 'QR' කේත පටිපාටියෙන් තොරව ඉන්ධන ලබාදීමට තීරණය කර ඇත. අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා මේ බව නිල වශයෙන් නිවේදනය කළේය.
පෙට්‍රල් වාහන සඳහා මෙලෙස QR කේතය අනිවාර්ය නොකළද, දැනට ක්‍රියාත්මක වන වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කමට අනුව ඉන්ධන නිකුත් කිරීමේ ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමවේදය කිසිදු වෙනසකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව සභාපතිවරයා එහිදී දැඩිව අවධාරණය කළේය. තවද, මෙම තාවකාලික නිදහස් කිරීම පෙට්‍රල් වාහන සඳහා පමණක් සීමා වන අතර, ඩීසල් වාහන සඳහා ඉන්ධන ලබා දීමේදී පෙර පරිදිම QR ක්‍රමවේදය අනිවාර්යයෙන්ම භාවිත කළ යුතු බව ද සංස්ථාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ අතර මෙරට විදුලි උත්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 30,000ක ධාරිතාවකින් යුත් දැවි තෙල් නෞකාවක් හෙට (12) දිනයේදී මෙරටට ළඟා වීමට නියමිතව තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කළේ අදාළ දැවි තෙල් තොගය සම්පූර්ණයෙන්ම විදුලි ජනනය සඳහා ලබාදීමට පියවර ගන්නා බවත්, ඊට සමගාමීව රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡා ද එකඟතාවන් කිහිපයක් මත පදනම්ව තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්ය.
මීට අමතරව, ගෝලීය වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල ඉහළ යාමේ වත්මන් ප්‍රවණතාවය සහ ඉදිරියේදී මෙරට තුළ සිදු කිරීමට අපේක්ෂිත ඉන්ධන මිල සංශෝධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා විසින් අදාළ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කරනු ලැබීය.



