chairman-of-nuwara-eliya-regional-council-arrested-by-bribery-commission

නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස මෑතකදී තේරී පත් වූ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන වේලු යෝගරාජ් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (07) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. දූෂණය නමැති වරද සිදු කිරීමේ චෝදනාව මත අද පෙරවරු 9.10 ට පමණ සභාපතිවරයාව මෙලෙස අත්අඩංගුවට ගත් බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් නිවේදනය කරයි.




ඔහුට එරෙහිව මෙම චෝදනාව එල්ල වී ඇත්තේ 2021 වර්ෂයේ දී සිදු කරන ලදැයි කියන නීති විරෝධී ක්‍රියාවක් මුල් කරගනිමිනි. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සංවර්ධන කටයුතු සඳහා බලපත්‍ර ලබා දීමේ දී අනුගමනය කළ යුතු 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනතේ නියමිත ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කර ඇති බවට එහිදී අනාවරණය වී ඇත. ඒ අනුව අංක 476/එල් මාගොඩ ග්‍රාම නිලධාරී වසමේ පිහිටි රජයට අයත් ඉඩමක් සඳහා ඉදිකිරීම් සැලසුමක් අනුමත කරමින්, අදාළ අයදුම්කරුට අයුතු වාසියක් සලසා දීම හරහා ඔහු මෙම වරද සිදු කර ඇති බව විමර්ශන නිලධාරීන් පෙන්වා දෙයි.

මෙසේ අත්අඩංගුවට පත් වේලු යෝගරාජ් මහතා මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගෙන් සමන්විත නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත් වූයේ මෑතකදී පැවති ඡන්ද විමසීමකදීය. ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, ලංකා කම්කරු කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ ගණනාවක් නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් මෙම සභාව සමන්විත වන අතර, එහි උප සභාපතිනිය ලෙස තේරී පත්ව සිටින්නේ ජාතික ජන බලවේගයේ හේවගේ ආශා දිල්රුක්ෂි ෆොන්සේකා මහත්මියයි.




අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබූ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.