borella-police-cases-in-the-houses-of-police-officers

කොළඹ බොරැල්ල පොලිස් ස්ථානයේ නඩු භාණ්ඩ කාමරයෙන් භාණ්ඩ 57ක් අස්ථානගත වීමේ සිද්ධියකට අදාළව, සේවයෙන් නෙරපා හරින ලද හිටපු පොලිස් සැරයන්වරයෙකු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පසුගිය 05 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද බොරැල්ල පොලිසියේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ සැරයන්වරයෙකු අත්අඩංගුවට පත්වූ අතර, තවත් සැරයන්වරයෙකු අධිකරණයට භාර වී ඇත.




2023 වසරේදී සිදු කරන ලද විශේෂ විගණනයකට අනුව අදාළ පොලිස් ස්ථානයේ නඩු බඩු කාමරයේ තිබූ භාණ්ඩ පනස් හතක් මෙලෙස අතුරුදන් වී ඇති බව මුලින්ම අනාවරණය විය. එලෙස නැතිවූ දේපළ අතර 2018 වසරේ අගෝස්තු මස 02 වැනිදා මත්ද්‍රව්‍ය සැකකරුවෙකුගෙන් අත්අඩංගුවට ගෙන තිබූ භාණ්ඩ තොගයක්ද වන බව පොලිසිය තහවුරු කරයි. සෙන්ටිමීටර් 11ක තලයක් සහ සෙන්ටිමීටර් 10ක මිටක් සහිත පිහියක්, සෙන්ටිමීටර් 6.05ක තලයක් සහ සෙන්ටිමීටර් 5ක මිටක් සහිත දෙපැත්ත කැපෙන පිහියක්, ටයිටැන් සහ නෝඩියා (NORDEA 2012) වර්ගවල අත් ඔරලෝසු දෙකක්, පෙන්ඩ්‍රයිව් හතරක්, රෙදි වෙස් මුහුණක්, අළු පැහැති ටීෂර්ට් දෙකක්, කැප් තොප්පියක්, අඟල් 160ක දිගින් යුත් කොහු ලණුවක් සහ මේවා බහා තිබූ දුඹුරු පැහැති බෑගයද එම අතුරුදන් වූ භාණ්ඩ ලැයිස්තුවට අයත් වේ.

විමර්ශනවලදී හෙළි වී ඇති ආකාරයට, 2018 අගෝස්තු 09 වැනිදා රාත්‍රී සේවා මුරයේ යෙදී සිටි මෙම සැරයන්වරයා දිවා සේවා නිලධාරියාගෙන් අදාළ නඩු භාණ්ඩ භාරගෙන ඇති මුත්, පසුදින රාජකාරියට පැමිණි නිලධාරියා වෙත ඒවා යළි භාර දී නොමැත. ඒ අනුව ඔහු විසින් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ විශ්වාසය කඩ කිරීමක් සිදු කර ඇති බවට තහවුරු වීමෙන් පසු, ඉකුත් 04 වැනිදා ඔහුව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.




අත්අඩංගුවට පත් වූ මෙම සැකකාර නිලධාරියා බොරැල්ල පොලිසියේ රාජකාරි කරන සමයේ සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් මහව පොලිසියට මාරු කර යවා තිබූ අයෙකි. පසුව එහිදීද වෙනත් නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ වීම හේතුකොටගෙන 2023 වසරේ අගෝස්තු 23 වැනි දින ඔහුව පොලිස් සේවයෙන් සම්පූර්ණයෙන්ම පහකර ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.