a-water-crisis-due-to-dry-weather---water-cut-begins-in-padukka-homagama

පවතින දැඩි වියළි සහ උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම හේතුකොටගෙන බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට අදියර වශයෙන් පැය විසිහතරක ජල කප්පාදුවක් මෙන්ම විශේෂ ජල කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත. අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා අවධාරණය කළේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව ඉදිරි සතිවලදී වර්ෂාපතනය තවදුරටත් අඩුවීමේ අවදානමක් පවතින බැවින් සහ එළඹෙන උත්සව සමයත් සමග ජනතාවගේ ජල පරිභෝජනය විශාල ලෙස ඉහළ යා හැකි බැවින් මෙම පියවර ගත් බවයි.




ලබුගම සහ කලටුවාව ජලාශවලින් සිදුකරන ජල නිෂ්පාදනය සීමා වීමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස පාදුක්ක, හෝමාගම සහ පැලැන්වත්ත යන ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව බලපැවැත්වෙන බව ජල සම්පාදන මණ්ඩලයේ බටහිර මධ්‍යම භාර සාමාන්‍යාධිකාරී දිස්නා පන්නිල මහත්මිය සඳහන් කළාය. ඒ අනුව, පාදුක්ක ප්‍රදේශයට අද (02) රාත්‍රී 8.00 සිට හෙට (03) රාත්‍රී 8.00 දක්වාත්, හෝමාගම ප්‍රදේශයට අප්‍රේල් 03 වනදා රාත්‍රී 8.00 සිට 04 වනදා රාත්‍රී 8.00 දක්වාත්, පැලැන්වත්ත ප්‍රදේශයට අප්‍රේල් 04 වනදා රාත්‍රී 8.00 සිට 05 වනදා රාත්‍රී 8.00 දක්වාත් පැය විසිහතරක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත. මෙම සෑම ප්‍රදේශයකටම අදාළ ජල කප්පාදුවෙන් අනතුරුව දින හතරක කාලයක් අඛණ්ඩව ජලය ලබාදීමට කටයුතු කරන අතර, නැවත වරක් අප්‍රේල් 07 සහ 09 යන දිනයන්හිදී යළිත් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සැලසුම් කර තිබේ.

ජල මූලාශ්‍රවල ධාරිතාව අවම වීම මත විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයට අයත් පිළියන්දල, මහරගම, කැස්බෑව, කොට්ටාව සහ හෝකන්දර යන ප්‍රදේශවලට ඉදිරියේදී අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයීමට සිදුවනු ඇත. එසේ වුවද රෝහල්, පාසල්, විශ්වවිද්‍යාල, රජයේ කාර්යාල සහ කර්මාන්තශාලා ආදී අත්‍යවශ්‍ය සේවා සපයන ස්ථාන සඳහා කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ජලය සැපයීමට ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, උස් බිම්වල පිහිටි ස්ථානවලට ජලය සැපයීමේදී යම් යම් සීමාවන් මතු විය හැකි බවත්, මහල් දෙකකින් යුත් නිවාසවල බිම් මහලට පමණක් ජලය ලැබීමේ සම්භාවිතාවක් පවතින බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.




මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ජලය නොමැති ප්‍රදේශවල ජනතාවගේ පහසුව උදෙසා බවුසර් මගින් ජලය බෙදා හැරීමේ විශේෂ වැඩපිළිවෙළක් ද මේ වන විටත් සූදානම් කර තිබේ. මහජනතාවට සිදුවන පීඩාව අවම කිරීමේ අරමුණින් ජල සම්පාදන මණ්ඩලයේ සමස්ත කාර්ය මණ්ඩලයම මේ මොහොතේ අත්‍යවශ්‍ය සේවාවක නිරත වෙමින් දිවා රාත්‍රී රාජකාරි ඉටුකරන බව ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.