රිය අනතුරකට ලක්ව බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින විස්සකට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා පසුගිය 3 වැනිදා අභාවප්‍රාප්ත විය.
මෙම අවාසනාවන්ත අනතුර සිදුව තිබුණේ බත්තරමුල්ල, අකුරේගොඩ ප්‍රදේශයේදීය. හදිසි අවශ්‍යතාවක් සඳහා කුලී යතුරුපැදියක පසුපස අසුනේ ගමන් කරමින් සිටියදී ප්‍රධාන මාර්ගයට පිවිසෙන අවස්ථාවේදී බීමත් රියැදුරෙකු පදවාගෙන ආ මෝටර් රථයක එම යතුරුපැදිය ගැටීමෙන් භක්ති මෙන්ඩිස් මහතා විසිවී ගොස් මෙලෙස බරපතළ තුවාල ලබා තිබිණි.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඒ මහතා 2000 වසරේදී දිනපතා ලක්බිම පුවත්පතේ සමාරම්භක කර්තෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසියේය. ඉන් අනතුරුව දිනමිණ, රිවිර ඇතුළු ලේක්හවුස් පුවත්පත්වල මෙන්ම හිරු රූපවාහිනී නාලිකාවේ ද සේවය කළ ඔහු ආරක්ෂක, දේශපාලන ඇතුළු විවිධ ඉසව් ඔස්සේ සිය නිර්මාණශීලී මාධ්‍යකරණය මෙහෙයවූ අභීත පුවත්පත් කලාවේදියෙකි. වරෙක ඔහු මැතිවරණයක් සඳහා ද අපේක්ෂකයෙකු ලෙස තරග කර තිබේ.
අභාවප්‍රාප්ත වන විට හතළිස් හත්වැනි වියේ පසු වූ භක්ති මෙන්ඩිස් මහතා, 'දිවයින' ඇතුළු පුවත්පත් කිහිපයක කලක් සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුගතපාල මෙන්ඩිස් මහතාගේ පුත්‍රයා වෙයි. ඔහුගේ ආදරණීය බිරිඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉමේෂා ධර්මසේන මහත්මිය වන අතර, ඔහු මාලඹේ හොරයිසන් විදුහලේ අධ්‍යාපනය ලබන දීමත් තේජක මෙන්ඩිස්ගේ දයාබර පියාණන් ද වේ. පවුලේ සහෝදරියන් තිදෙනෙකුගේ සහෝදරයා වූයේ ද ඔහුය.
මාධ්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම ඉන් පිටතත් කාගේත් ආදරය දිනාගත්, අන් අයගේ දුකේදී නිරතුරුවම පිහිට වූ ඔහු සැමවිටම සිනහමුසු මුහුණින් සිටි සහෘද මාධ්‍ය සගයෙකි. ඒ මහතාගේ දේහය පසුගිය 4 වැනිදා මැදියම් රැයේ සිට ගාල්ල, බූස්ස, මහගෙදර වත්තේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු 6 වැනිදා පස්වරු 5.00ට ගාල්ල දඩල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
