i-didnt-think-i-would-be-01-from-the-island-unless-i-worked-to-pass-the-campus

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කිලිනොච්චිය මහා විද්‍යාලයේ දේවේන්ද්‍රන් තිරුකුමරන් සිසුවා සමත් වී තිබේ. මෙය කිලිනොච්චිය වැනි දුෂ්කර ප්‍රදේශයකින් වාර්තා වූ සුවිශේෂී අධ්‍යාපනික ජයග්‍රහණයක් ලෙස සැලකේ.




මෙම විශිෂ්ට ජයග්‍රහණය ලබාගත් සිසුවාට සුබ පැතීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්, කිලිනොච්චිය දිසාපති එස්. මුරලිදරන් සහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් යන මහත්වරුන් කිලිනොච්චිය මහා විද්‍යාලය වෙත පැමිණ ඇත. එහිදී ඔවුහු සිසුවාට සිය ආශිර්වාදය පළ කරමින් සිය සතුට ප්‍රකාශ කර තිබේ.

දේවේන්ද්‍රන් සිසුවාගේ පාසල් දිවිය පිළිබඳව අදහස් දක්වමින් කිලිනොච්චිය මහා විද්‍යාලයේ විදුහල්පතිනිය වන අයි. නිමල් රාජ් මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ, ඔහු හුදෙක් අධ්‍යාපන කටයුතුවලට පමණක් සීමා නොවූ අයෙකු බවයි. ඔහු ක්‍රීඩා මෙන්ම අනෙකුත් විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා ද ඉහළ දක්ෂතාවයක් දැක්වූ ක්‍රියාශීලී සිසුවෙකු බව විදුහල්පතිනිය එහිදී අවධාරණය කර ඇත.




තම අද්විතීය ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේවේන්ද්‍රන් තිරුකුමරන් සිසුවා පවසා ඇත්තේ, තමන් විභාගය සමත් වී විශ්වවිද්‍යාල වරම් ලබාගන්නා බවට දැඩි විශ්වාසයක් තිබුණද, භෞතික විද්‍යාව වැනි අසීරු විෂය ධාරාවකින් මුළු දිවයිනෙන්ම පළමුවැනියා වනු ඇතැයි කිසිවිටෙකත් අපේක්ෂා නොකළ බවයි. මෙම අනපේක්ෂිත ජයග්‍රහණය තමාට විශාල සතුටක් ගෙන දෙන බව පවසන ඔහු, කිලිනොච්චිය වැනි ප්‍රදේශයක සිට මෙවැනි ඉලක්කයක් ජයගැනීමට හැකිවීම සම්බන්ධයෙන් තම මවුපියන්ට, ගුරුවරුන්ට සහ තමන්ට සහාය දැක්වූ අනෙකුත් සියලු දෙනාටම සිය කෘතඥතාව පළ කරන බවත් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

i-didnt-think-i-would-be-01-from-the-island-unless-i-worked-to-pass-the-campus