හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු මෙන්ම මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන මහින්ද විජේසේකර මහතා 83 වියේදි අද (2) දින අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ ආදරණීය පියාණන් ද වෙයි.
තම දීර්ඝ දේශපාලන ගමන්මග තුළ එක්සත් ජාතික පක්ෂය මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද නියෝජනය කළ ඒ මහතා, දකුණු පළාතේ සාමාන්‍ය ජනතාව සමග ඉතා සමීප සබඳතාවක් පවත්වා ගත් නායකයෙකි. තම දේශපාලන දිවිය තුළ කැබිනට් අමාත්‍ය ධූර රැසක් හෙබවූ ඔහු, විශේෂයෙන්ම තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසත්, ඊට පෙර ධීවර කටයුතු සම්බන්ධ අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කර ඇත.2009 වසරේ අකුරැස්ස ප්‍රදේශයේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට මුහුණ දුන් මහින්ද විජේසේකර මහතා ඉන් බරපතළ තුවාල ලබා දිවි ගලවා ගැනීමට සමත් වුවද, ඉන් අනතුරුව දිගින් දිගටම විවිධ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දුන්නේය. ඔහුගේ දේශපාලන අඩිපාරේ යමින් පසුකාලීනව ඔහුගේ පුත් කාංචන විජේසේකර මහතා ද මාතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ද දේශපාලනයට පිවිසියේය.

