
අමෙරිකා එක්සත් ජනපදයේ සිට පැමිණි පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ "ආලෝකා" නමැති සාමයේ සුනඛයා එක්ව ශ්‍රී ලංකාව පුරා දියත් කර ඇති පාද චාරිකාව හරහා සාමයේ සහ කරුණාවේ පණිවිඩය මේ වන විටත් මෙරට ජනතාවගේ හදවත් ස්පර්ශ කරමින් පවතී. බුදුරජාණන් වහන්සේගේ දේශනාවලට අනුව යමින් මෛත්‍රිය සහ දයාව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම සුවිශේෂී ගමන සංවිධානය කර ඇත.
ජාති සහ ආගම් භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙම විදේශික භික්ෂූන් වහන්සේලාට සහ එම සිව්පා මිතුරාට ඉහළ ගෞරවයක් මෙන්ම නොමඳ සහයෝගයක් ද හිමි වෙමින් තිබේ.සේවා සුනඛයෙකු ලෙස ගුවන් මගින් පැමිණි ආලෝකා සමඟින් කොළඹට සැපත් වූ මෙම භික්ෂු පිරිස, ප්‍රථමයෙන් බස් රථයකින් අනුරාධපුරය බලා ගමන් ගත්හ. ලෝක සාම මෙහෙයුම සනිටුහන් කරමින් එහිදී උන්වහන්සේලාට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් පිරිනමන ලදී. එම පූජනීය බෝධි අංකුරය භාරගනිමින් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ප්‍රකාශ කළේ මෙම චාරිකාවෙන් මහත් කුසලයක් අත්වන බවත්, ශ්‍රී ලංකා මාතාවට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ මහා සංඝරත්නයට තමන් වහන්සේගේ කෘතවේදීත්වය පුද කරන බවත්ය. ඉන් අනතුරුව, බෝධි අංකුරය ද රැගෙන රුවන්වැලි මහා සෑය වෙත වැඩම කළ උන්වහන්සේලා එදින රාත්‍රිය ගත කිරීම සඳහා දඹුල්ල රජමහා විහාරය වෙත පැමිණියහ.
සාමයේ පාද චාරිකාව නිල වශයෙන් ආරම්භ වූයේ දඹුල්ල විහාරයේ සිට මාතලේ දක්වා වූ කිලෝමීටර් 47ක දුරක් ආවරණය කරමිනි. මෙම ගමන ඇරඹීමට පෙර රැස්ව සිටි පිරිස ඇමතූ පඤ්ඤාකර හිමියන් අවධාරණය කළේ, දානය පිරිනැමීම යහපත් ක්‍රියාවක් වුවද, බුදුරදුන් දෙසූ පරිදි සිහිය පිහිටුවා ගැනීම ඊට වඩා ඉතා වැදගත් බවයි. කෑම බීම ගැනීම, ඇවිදීම ඇතුළු දෛනික ජීවිතයේ සියලු කටයුතුවලදී සිහියෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම උන්වහන්සේ පැහැදිලි කළහ. ජනතාව සිහියෙන් තොරව වෛරයෙන්, කෝපයෙන් සහ පළිගැනීමේ චේතනාවෙන් ක්‍රියා කළහොත් ලෝකය තවත් විනාශය කරා ඇදෙන බැවින්, සාමය ප්‍රගුණ කිරීම සඳහා නිරන්තරයෙන් සතිමත්ව කටයුතු කළ යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
මාතලේ දක්වා වූ ගමනේදී දැඩි හිරු රශ්මියෙන් රත්වූ මාර්ගයේ පාවහන් නොමැතිව වඩින භික්ෂූන් වහන්සේලාට සහනයක් ගෙන දීම සඳහා ජනතාව මාර්ගයට ජලය ඉසීම, කෙසෙල් කොළ එළීම, මල් පෙති ඉසීම මෙන්ම සුදු රෙදි පාවඩ එළීම වැනි ක්‍රියාවන්හි නිරත වූහ. වර්ෂාව පවතින අවස්ථාවලදී ආවරණයක් ලෙස භාවිත කිරීමට හබරල කොළ පවා ජනතාව විසින් පිරිනමන ලද අතර, ඇතැම් භික්ෂූන් වහන්සේලා මහනුවරට ළඟා වන විට පාදවල වෙළුම් පටි දමාගෙන සිටිනු දැකගත හැකි විය. අතරමැද විවේක ගනිමින් මෙම ගමනට එක්වූ ආලෝකා සුනඛයා ද මහජනතාවගේ ආදරයට පාත්‍ර විය. ජනවාර්ගික හා ආගමික සහජීවනය මනාව පිළිඹිබු කරමින්, හින්දු කෝවිලකින් සහ ඉස්ලාම් පල්ලියකින් ද මෙම භික්ෂූන් වහන්සේලාට ආහාර පානවලින් සංග්‍රහ කිරීම මෙහිදී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීමකි. එසේම, රෝගී පුද්ගලයන් සහ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් සෙත් පැතීමට ද උන්වහන්සේලා අතරමග නතර වූහ.
මහනුවරට පැමිණි භික්ෂු පිරිස මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයන් වෙත වැඩම කර මහානායක හිමිවරුන්ගේ ආශිර්වාද ලබාගත් අතර, ශ්‍රී දළදා සමිඳුන් ද වැඳපුදා ගත්හ. එසේම, ශ්‍රී දළදා මාලිගාව අසලදී උන්වහන්සේලා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ද හමුවූහ. තමන් වහන්සේලා කෙරෙහි ආදරය දැක්වීමට පැමිණි ජනතාවගේ තෙරපීම් නිසා ආලෝකා සුනඛයා පවා නොසන්සුන් වූ බව පෙන්වා දුන් පඤ්ඤාකර හිමියන්, මේ හේතුවෙන් ජනතාව ඉවසිලිවන්තව සහ සන්සුන්ව කටයුතු කළ යුතු බව පෙන්වා දුන්හ. එක් දිනක් තුළ අධික උණුසුම මෙන්ම වර්ෂාව ද අත්විඳීමට ලැබීමෙන් ශ්‍රී ලංකාවේ පවතින සුන්දර කාලගුණික තත්ත්වය පිළිබඳව ද උන්වහන්සේලා අගය කළහ.
සිකුරාදා වන විට බෙලිගම්මන රජමහා විහාරයට පැමිණි මෙම පිරිස ඊයේ දින තොලංගමුවට ළඟා වූහ. අද දිනයේදී යක්කල ප්‍රදේශයට පැමිණෙන උන්වහන්සේලා, හෙට දිනයේ කැලණිය රජමහා විහාරයට පැමිණ ජනතාව සමඟ සම්බන්ධ වීමට නියමිතය. මෙම සාමයේ පාද චාරිකාව අඟහරුවාදා කොළඹින් නිමාවට පත්වන අතර, එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී මහා බෝධි අංකුරය සහ සර්වඥ ධාතූන් වහන්සේලා විධිමත්ව භික්ෂූන් වහන්සේලා වෙත භාරදෙනු ඇත. අනතුරුව කොළඹ ගංගාරාම විහාරස්ථානය වෙත පෙරහරින් වැඩම කරන උන්වහන්සේලා දින දෙකක් එහි ගත කරනු ඇත. අවසානයේදී, මෙම ශ්‍රී මහා බෝධි අංකුරය ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝර්ට් වර්ත් (Fort Worth) හි පිහිටි හුවොං දාඕ විදර්ශනා භාවනා මධ්‍යස්ථානය (Huong Dao Vipassana Bhavana Centre) වෙත වැඩම කරවීමට නියමිතය.


