පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට ඇතැම් යුද හමුදා නිලධාරීන් බාධා පමුණුවන බවට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විවෘත අධිකරණයේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ.
මෙම සිදුවීමට පෙර, යුද හමුදා නීති අංශයේ නිලධාරියෙකු අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මුණගැසී අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරියාට ඔහු සමඟ දුරකථනයෙන් කතා කිරීමට අවශ්‍ය වී ඇති බව දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔවුන් දෙදෙනා අතර පැවැති දුරකථන සංවාදය ඉතා සුහදව ආරම්භ වී ඇති නමුත් පසුව එය උණුසුම් මුහුණුවරක් ගෙන ඇත. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සඳහා හමුදාව සහාය නොදෙන බවට අධිකරණයේදී කළ ප්‍රකාශ හරහා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා යුද හමුදාව දැඩි අපහසුතාවයට පත් කර ඇති බවට එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා එහිදී චෝදනා කර තිබේ. හමුදාව මෙම පරීක්ෂණ සඳහා උපරිම සහාය ලබා දෙන බවට හමුදා නිලධාරියා තර්ක කළද, දිලීප පීරිස් මහතා එම අදහස ප්‍රතික්ෂේප කරමින් සැබෑ තත්ත්වය එසේ නොවන බව අවධාරණය කර ඇත.
අතිරේක සොලිසිටර් ජනරාල්වරයා තවදුරටත් අධිකරණය හමුවේ මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ නම්, ඔහුගේ එම හැසිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමට හමුදාවට සිදුවනු ඇතැයි අදාළ නිලධාරියා විසින් එක් අවස්ථාවකදී අනතුරු අඟවා ඇති බවද සඳහන් වේ.
එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දී ඇත්තේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ට නීතිමය සහාය ලබා ගැනීම සඳහා හමුදා බුද්ධි අංශ විසින් මුදල් සපයා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් එය කිසිසේත්ම නිවැරදි ක්‍රියාවක් නොවන බවත්ය. එසේම, මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන සඳහා සහාය දීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කිරීමට සහ ඔවුන්ව අධිකරණය හමුවට කැඳවීමට නීතිපති දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බවද ඔහු එම නිලධාරියාට දැනුම් දී තිබේ.
අදාළ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා සහ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අතර ඇති වූ මෙම දුරකථන සංවාදය පිළිබඳව නීතිපති පාරින්ද රණසිංහ මහතා ද දැනුවත් කර ඇති බව වැඩිදුරටත් දැනගන්නට ලැබේ.

