22-smugglers-from-thailand-have-brought-the-biggest-haul-of-drugs-to-sri-lanka

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පුද්ගලයින් 22 දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ඊයේ (25) රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබීය. මෙම සැකකරුවන් තායිලන්තයේ සිට පැමිණ ඇති අතර, ඔවුන් සතුව තිබී රුපියල් කෝටි 110කට වඩා වැඩි වටිනාකමකින් යුත් 'කුෂ්' සහ 'හෑෂ්' නමැති මත්ද්‍රව්‍ය තොගයක් ආරක්ෂක අංශ විසින් සොයාගන්නා ලදී.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙනවිත් ඇත්තේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ලෙස සිවුරු හැඳගත් පිරිසක් විසින් වීමයි.




පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු නිශ්චිත බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කර තිබේ. මෙලෙස නීතියේ රැහැනට කොටුවී ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිව සිටින මෙන්ම විවිධ ආයතනවල උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන තරුණ පිරිසකි. යම්කිසි අනුග්‍රාහකයෙකු විසින් ලබාදෙන ලද ගුවන් ප්‍රවේශපත් භාවිතා කරමින් මොවුන් තායිලන්තය බලා ගොස් ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත. එරටදී ඔවුන් සිවුරු ඉවත් කර ගිහි වෙස් ගෙන විවිධ ක්‍රියාකාරකම්වල යෙදී සිටින ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඔවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී විමර්ශන නිලධාරීන්ට අනාවරණය කරගැනීමට හැකි වී තිබේ.

අදාළ සැකකරුවන් සතු වූ ගමන් මලුවල ව්‍යාජ පතුල් සකස් කර, පාසල් උපකරණ සහ රසකැවිලි වර්ග අතර සූක්ෂම ලෙස සඟවා කිලෝග්‍රෑම් 110කට අධික මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කර ඇත. මෙරට ගුවන් තොටුපොළක් තුළදී චීවරධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වන බවද අදාළ අංශ වැඩිදුරටත් තහවුරු කරයි.

22-smugglers-from-thailand-have-brought-the-biggest-haul-of-drugs-to-sri-lanka

22-smugglers-from-thailand-have-brought-the-biggest-haul-of-drugs-to-sri-lanka