the-woman-must-pay-28-lakhs-in-car-accident-compensation---the-court-orders

මහමඟ ඇවිද යන අහිංසක ජීවිතයකට ක්ෂණයකින් කඩා වදින මාරයා, ඉතිරි කරන්නේ රුධිරය සහ කඳුළු පමණක් නොවේ; ජීවිත කාලයක් පුරා ඇදෙන වේදනාවකි. අධික වේගයෙන් රිය පදවා සිදුකළ අනතුරකින් බරපතළ තුවාල ලැබූ තිදරු මවකට රුපියල් ලක්ෂ විසි අටක වන්දියක් ගෙවන ලෙස අනුරාධපුර දිසා අධිකරණය ලබා දී තිබූ තීන්දුව, උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණය විසින් යළිත් ස්ථිර කරනු ලැබුවේ එම වේදනාවට නීතියෙන් සපයා දිය හැකි උපරිම යුක්තිය ඉටු කරමිනි.




මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ නොච්චියාගම, ළිඳවැව ප්‍රදේශයේ පදිංචි දීපානි සුනේත්‍රා වැලිවත්ත නමැති කාන්තාවකි. මීට දශක දෙකකට ආසන්න කාලයකට පෙර, එනම් 2007 වසරේ මාර්තු මස 04 වැනිදා ඇය සිය දරුවන් ද කැටුව මාර්ගයේ වැලි තීරුව මත ඉතා නිවැරදි දිශාවෙන් ගමන් කරමින් සිටියාය. එහෙත් වංගුවක් සහිත එම ස්ථානයේදී අතිශය අපරීක්ෂාකාරී ලෙස සහ අධික වේගයෙන් පැමිණි කැබ් රථයක් ඇයගේත් දරුවන්ගේත් ජීවිත අනතුරේ හෙළමින් ඇයව බරපතළ තුවාල වලට ලක් කළේය.

තමාට සිදුවූ ශාරීරික හා මානසික හානිය වෙනුවෙන් සාධාරණය පතා ඇය අනුරාධපුර දිසා අධිකරණය හමුවේ වන්දි නඩුවක් ගොනු කළාය. එහිදී සියලු සාක්ෂි මනාව විමසා බැලූ දිසා විනිසුරු සම්පත් හේවාවසම් මහතා, කැබ් රථ රියැදුරු වන අනුරාධපුර ජයන්ති මාවතේ පදිංචි ස්මයිල් මොහොමදු සුල්තාන් නමැත්තාට නියෝග කළේ වින්දිත මවට රුපියල් ලක්ෂ 28ක මුදලක් වන්දි ලෙස ගෙවන ලෙසයි. එහෙත් සිය වරද පිළිගන්නවා වෙනුවට රියැදුරා කළේ, එම නියෝගය නීතියට පටහැනි බව පවසමින් එය බලරහිත කරන ලෙස ඉල්ලා සිවිල් අභියාචනා මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමයි.




නීතිඥ සජීව ගුණරත්න මහතාගේ උපදෙස් මත නීතිඥ ලලිත් සේනානායක මහතා අභියාචක රියැදුරා වෙනුවෙන් පෙනී සිටි අතර, වින්දිත මව වෙනුවෙන් නීතිඥ රෝහණ ප්‍රේමලාල් මහතා කරුණු දැක්වීය. මෙම අභියාචනය සලකා බැලුණේ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන් වන ඩී.එම්. රුවන් ධම්මික දිසානායක සහ සඳුන් විතානගේ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ද්වි පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේය. සාක්ෂි යළිත් වරක් සියුම්ව තක්සේරු කළ මහාධිකරණ විනිසුරු රුවන් ධම්මික දිසානායක මහතා අවධාරණය කළේ, රියැදුරාගේ අපරීක්ෂාකාරී ධාවනය නඩුවේ සාක්ෂි මතින් මනාව තහවුරු වී ඇති බවයි. ඒ අනුව දිසා විනිසුරුවරයාගේ තීන්දුව වෙනස් කිරීමට අභියාචනාධිකරණය කිසිදු ලෙසකින් මැදිහත් නොවන බව පවසමින්, අභියාචනය ගාස්තුවලට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට අධිකරණය තීන්දු කළේය.

මහමඟ අහිංසකයන්ගේ ජීවිත බිලිගන්නා උමතු රියැදුරන්ට නීතියේ දැලෙන් කිසිදා රිංගා යා නොහැකි බව, වසර දහනවයකට පසුව හෝ පැමිණි මේ යුක්තියේ හඬ සමාජයටම නිහඬව පවසයි.