අම්පාර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව කල්මුණේ ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 107ක් සමඟ ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
අදාළ මත්ද්‍රව්‍ය තොගය කුරියර් සේවාවක් හරහා සෙල්ලම් බඩු පාර්සලයක් ලෙස මවාපාමින් ප්‍රවාහනය කර ඇති අතර, ඒවා කුඩා සෙල්ලම් වලස් පැටියෙකුගේ ගෙල ප්‍රදේශයේ ඉතා සූක්ෂම අන්දමින් සඟවා තිබී ඇත. පොලිස් නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුර ඔස්සේ අදාළ සැකකරුගේ නිවස පැය ගණනාවක් පුරා දැඩි සෝදිසියකට ලක් කිරීමෙන් අනතුරුව සෙල්ලම් බඩුව තුළ සඟවා තිබූ මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට පරීක්ෂණ කණ්ඩායම්වලට හැකි වී තිබේ.
මත්ද්‍රව්‍යවලට අමතරව, ජාවාරම සඳහා යොදාගත් බවට සැකකෙරෙන ඉලෙක්ට්‍රොනික තරාදියක්, ජංගම දුරකථන දෙකක් සහ යම් මුදල් ප්‍රමාණයක් ද මෙහිදී පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් වූ සැකකාර හිටපු මන්ත්‍රීවරයා සහ නඩු භාණ්ඩ ඉදිරි නීතිමය හා අධිකරණ කටයුතු වෙනුවෙන් මේ වන විට කල්මුණේ මූලස්ථාන පොලිසිය වෙත භාර දී තිබේ.
මෙම සෝදිසි මෙහෙයුම නැගෙනහිර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් සහ අම්පාර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ නියෝග මත ක්‍රියාත්මක කර ඇත. අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චි මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් සහ අම්පාර දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරී සම්පත් වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීම යටතේ සිදු කළ මෙම වැටලීම සඳහා, අම්පාර දිස්ත්‍රික් දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.ඒ.එම්. ප්‍රියංකර මහතාගේ නායකත්වයෙන් යුත් පොලිස් නිලධාරී කණ්ඩායමක් සක්‍රීයව දායක වී තිබේ.



