සිනමාපටයකින් එළියට පැන්නාක් මෙන් එකවර ඩයිනෝසරයන් සිය ගණනක් සරසවි භූමියක් ආක්‍රමණය කළහොත් කුමක් සිදුවනු ඇත්ද? එය බිහිසුණු අත්දැකීමක් වෙනුවට, මිනිසුන්ගේ මුවගට අසීමිත සිනහවක් ගෙන එමින් ඉතිහාසය අලුතින් ලියූ අපූරු සිදුවීමක් බවට පසුගියදා පත්විය.
කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ පිහිටි කැල්ගරි විශ්වවිද්‍යාලය (UCalgary) පසුගිය අප්‍රේල් 11 වැනිදා ගිනස් ලෝක වාර්තා පොතට එක්වූයේ ඩයිනෝසර ඇඳුමින් සැරසුණු පුද්ගලයන් 682 දෙනෙකු එකම ස්ථානයකට එක්රැස් කරමිනි. විශ්වවිද්‍යාලයේ 60 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ "ප්‍රජා දිනය" හෙවත් ‘රෙක්ස්ගේ ජුරාසික් ජැම්බෝරිය’ නම් වූ සුවිශේෂී උත්සවයේදී මෙම ඓතිහාසික වාර්තාව සනිටුහන් විය.
මෙම අපූරු අවස්ථාව සඳහා සරසවි සිසුන්, ආචාර්යවරුන්, ආදි ශිෂ්‍යයන්, කුඩා දරුවන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ. ඇතැමුන් තම සුරතල් බල්ලන් ද ඩයිනෝසර ඇඳුමින් සරසාගෙන පැමිණ සිටීම කාගේත් නෙත් සිත් පිනවන දසුනක් විය. තද රතු, තැඹිලි, කොළ සහ කහ පැහැති අලංකාර, වාතය පිරවූ දැවැන්ත ඩයිනෝසර ඇඳුම්වලින් සැරසී සිටි පිරිස, වත්මන් ලෝකයේ පවතින දැඩි පීඩාකාරී වාතාවරණය මොහොතකට හෝ අමතක කර දමමින් අසීමිත සතුටක් භුක්ති වින්දහ.
මෙය හුදෙක් අහඹු සිදුවීමක් නොවේ. කැල්ගරි විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා කණ්ඩායම්වල නිල නාමය "ඩයිනෝස්" වීමත්, එම කලාපය ඩයිනෝසර ෆොසිල සඳහා ප්‍රසිද්ධියක් ඉසිලීමත් නිසා මෙම වාර්තාව ඔවුන්ට වඩාත් විශේෂ අරුතක් ගෙන දෙයි. මීට පෙර 2025 වසරේ ජනවාරි මාසයේදී ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හිදී පුද්ගලයන් 468 දෙනෙකු එක්ව පිහිටුවා තිබූ වාර්තාව මෙහිදී සම්පූර්ණයෙන්ම බිඳ වැටිණි. ඊට පෙර ඇල්බර්ටා හි ඩ්‍රම්හෙලර් ප්‍රදේශයේදී ද මෙවැනිම උත්සාහයක් ගෙන තිබුණත්, තාක්ෂණික දෝෂ හේතුවෙන් එය අසාර්ථක වී තිබූ පසුබිමක, මෙවර ඔවුන් සියලු සැලසුම් ඉතා සූක්ෂමව ක්‍රියාත්මක කර තිබුණි.
ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවීය. නියමිත ගිනස් නීතිරීතිවලට අනුව, සහභාගී වන සියලුම දෙනාගේ ශරීරය පාද හැර සම්පූර්ණයෙන්ම ඩයිනෝසර ඇඳුමකින් ආවරණය වී තිබීම අනිවාර්ය වූ අතර, මකරෙකු හෝ වෙනත් කිසිදු සතෙකුගේ ස්වරූපයක් ඊට ඇතුළත් කරගත නොහැකි විය. ගිනස් නිලධාරීන් සහ ඩ්‍රෝන කැමරා මගින් අවසන් ගණනය කිරීම් සිදුකරන තෙක් මුළු සරසවි බිමම දැඩි නිශ්ශබ්දතාවයකින් සහ කුතුහලයකින් පිරී පැවතුණි. එහෙත් නිලධාරීන් විසින් අවසන් ප්‍රතිඵලයේ මුල් ඉලක්කම වන "හය" ප්‍රකාශ කරනවාත් සමඟම, සමස්ත ජනකායම ප්‍රීති ඝෝෂා නගමින් සහ එකිනෙකා වැළඳගනිමින් සිය ජයග්‍රහණය සැමරූහ.
"පැරණි වාර්තාව දැන් වඳ වී ගොස් අවසන්. මෙය අපේ විශ්වවිද්‍යාලයත්, කැල්ගරි ප්‍රජාවත් එකට එක්ව ලෝක වාර්තාවක් පිහිටුවීමට දුන් කදිම උදාහරණයක්," යැයි කැල්ගරි විශ්වවිද්‍යාලයේ උපකුලපති එඩ් මැකෝලි මහතා අභිමානයෙන් යුතුව ප්‍රකාශ කළේය. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කටයුතු පිළිබඳ උප ප්‍රධානියෙකු වන වෙරිටි ටර්පින් පැවසුවේ, ලෝකයේ සිදුවන බරපතල සිදුවීම් හමුවේ මෙවැනි දෑ මගින් මිනිසුන්ට අපූරු සැහැල්ලුවක් සහ සතුටක් ලැබෙන බවයි. සහභාගී වූ බොහෝ දෙනෙකුට, විශේෂයෙන්ම මෑතකදී උපාධිය ලැබූ කෙෂ්නි බිස්ටෝ සහ කාර්ය මණ්ඩල සාමාජිකා ලෝරා වොන් වැනි අයට, මෙය ඉතිහාසයේ කොටස්කරුවන් වීමට ලැබුණු වටිනා අවස්ථාවක් විය.
ප්‍රකට ‘ක්වීන්’ සංගීත කණ්ඩායමේ "We Are the Champions" ගීතයේ රාවය මැද, දැවැන්ත ඩයිනෝසරයන් සිය ගණනක් එකට එක්ව නර්තනයේ යෙදුණු ඒ අපූරු සන්ධ්‍යාව, හුදෙක් ලෝක වාර්තාවක් පමණක් නොව මිනිස් බැඳීම්වල ඇති සුන්දරත්වය සදාකාලිකවම ලෝකයට කියාපාන ජීවමාන සාක්ෂියක් ලෙස සටහන් වනු ඇත.



