ඇයට කතා කිරීමට නොහැකිය. තමන්ට සිදුවූ අසාධාරණය ගැන හඬ නඟන්නට ඇයට වචන නැත.
එහෙත් වචනයක්වත් කතා කළ නොහැකි, සියලු කටයුතු සඳහා අනුන්ගේ පිහිට යදින විසිඑක් හැවිරිදි අසරණ තරුණියකට අත් වූ ඒ ඛේදනීය ඉරණමට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් නීතිය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. ඇය බිහි කළ මළ දරු උපතේ පීතෘත්වය සෙවීම සඳහා මේ වන විට එම තරුණියගේම පියාගේ සහ සහෝදරයාගේ ඩී.එන්.ඒ. සාම්පල අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට බණ්ඩාරගම පොලිසිය පියවර ගෙන තිබේ.බණ්ඩාරගම ප්‍රදේශයේ නිවසක සිය මව, පියා සහ සහෝදරයා සමඟ ජීවත් වන මෙම යුවතියට තනිව කිසිදු කාර්යයක් කරගැනීමට හැකියාවක් නැත. තම හැඟීම් හෝ වේදනාවන් ප්‍රකාශ කිරීමට ඇයට භාෂාවක් නොමැති අතර, ඇගේ මුවින් පිටවන්නේ "ඕ" යන ශබ්දය පමණක් බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇත. හස්ත සංඥාවකින් හෝ යමක් පැහැදිලි කිරීමට තරම් හැකියාවක් නොමැති මෙවන් අසරණ තරුණියක මෙතරම් කෲර අපරාධයකට ගොදුරු වීම සමාජයේ හෘද සාක්ෂියම දැඩි ලෙස කම්පනයට පත් කරන්නකි.
මෙම අඳුරු රහස පළමුවරට හෙළිවන්නේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය. දියණියට උදරාබාධයක් පවතින බව පවසමින් මව විසින් ඇයව බණ්ඩාරගම දිසා රෝහලට රැගෙන ගිය අවස්ථාවේදී සිදුකළ මුත්‍රා පරීක්ෂණයකින් ඇය ගැබ්ගෙන ඇති බව මුලින්ම තහවුරු විය. ඉන්පසුව වෛද්‍ය උපදෙස් මත ඇයව පානදුර කේතුමතී කාන්තා රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර, එහිදී කළ ස්කෑන් පරීක්ෂණ මගින් ඒ වන විටත් ඇය සති දොළහක ගැබිනියක බවත්, දරුවා මෙලොවට බිහි වුවද පැය විසිහතරකට වඩා ජීවත් නොවන බවත් විශේෂඥ වෛද්‍යවරුන් විසින් දැනුම් දී තිබිණි.
වෛද්‍යවරුන්ගේ එම නිගමනය සනාථ කරමින් පසුගිය මස විසිහය වන දින පානදුර කේතුමතී රෝහලේදී ඇය බිලිඳියක ප්‍රසූත කළද, ඒ වන විටත් එම කුඩා දැරිය මෙලොව හැරගොස් සිටියාය. කෙසේ වෙතත්, මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිසිය පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමේදී ඔවුන් පවසා ඇත්තේ නිවසට කිසිදු පිටස්තර පුද්ගලයෙකු පැමිණෙන බවක් තමන් නොදන්නා බවයි.
මේ හේතුවෙන්ම පොලිසිය ඉදිරියේ ඇත්තේ බරපතළ ගැටලුවකි. අසරණ තරුණියට අතවර කළ පාපතරයා පිටස්තරයෙකුද, නැතහොත් මව්පියන් විසින්ම එම අපරාධය වසන් කිරීමට උත්සාහ දරන්නේද යන්න පිළිබඳව විමර්ශකයන්ගේ දැඩි අවධානය යොමුව තිබේ. පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් සහ බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාගේ මෙහෙයවීම මත, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක සුමුදු කෞෂල්‍යා මෙනවියගේ මූලිකත්වයෙන් මේ පිළිබඳව පැති කිහිපයක් ඔස්සේ පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මකය.
තමන්ට අත්වූ ඉරණම ගැන එකදු වචනයක් හෝ කියන්නට නොහැකිව ඇය නිහඬව සිටියද, ඩී.එන්.ඒ. පරීක්ෂණයේ ප්‍රතිඵල මගින් ඒ නිහඬතාවය බිඳ දමමින් සත්‍යය ලොවට හඬගා කියනු ඇත.



