rmv-fraudsters---cc-numbers-have-also-been-stolen

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආශ්‍රිතව සිදුවන බව කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙන්ම පොලිස් විශේෂ කාර්යාංශය විසින් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. විශේෂයෙන්ම වාහන ආනයනකරුවන් සඳහා ගරාජ් අංක හෙවත් සී.සී.

අංක නිකුත් කිරීමේදී දෙපාර්තමේන්තුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු නිකුත් කළ චක්‍රලේඛයක් අවභාවිත කරමින් මෙම නිලධාරීන් විසින් අල්ලස් ලබාගැනීම සඳහා කටයුතු කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වේ. අදාළ චක්‍රලේඛයට අනුව සී.සී. අංකයක් නිකුත් කිරීමට නම් ව්‍යාපාර ලියාපදිංචි සහතිකය, ආදායම් බදු ගෙවීමේ වාර්තා සහ ව්‍යාපාරික ස්ථානයේ හිමිකාරිත්වය තහවුරු කරන ලියකියවිලි ඉදිරිපත් කළ යුතු අතර, දෙපාර්තමේන්තු නිලධාරීන් අදාළ ස්ථානය වෙත ගොස් පරීක්ෂාවක් ද සිදුකළ යුතු වේ. එහෙත්, මෙම නියමයන් තමන්ට වාසිදායක ලෙස යොදාගන්නා ඇතැම් නිලධාරීන් අංක නිකුත් කිරීම සඳහා ආනයනකරුවන්ගෙන් අල්ලස් ලෙස විශාල වශයෙන් මුදල් ලබාගන්නා බවට කරුණු හෙළිවී ඇත.




මේ අතරතුර, වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට සේවා ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් ඉලක්ක කරගනිමින් ව්‍යාජ රියදුරු බලපත්‍ර ලබාදීමේ ජාවාරමක් ද ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබේ. පොලිස් විශේෂ කාර්යාංශයේ විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව පසුගිය 08 වැනිදා සිදුකළ මෙහෙයුමකදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කරන ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු සහ බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අකලංග මහතාගේ උපදෙස් පරිදි, උපාය දූතයෙකු යොදවා රුපියල් දසදහසක මුදලක් ගෙවා රියදුරු බලපත්‍රයක් සකසාගැනීමට යාමේදී අදාළ ජාවාරමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. අනතුරුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හරහා, රියදුරු බලපත්‍රවලට අලවන ආරක්ෂිත ස්ටිකර් ලබාදුන් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ආරක්ෂක නිලධාරියා ද ආරක්ෂිත ස්ටිකර් 9ක් සමගින් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ ආරක්ෂක නිලධාරියා විසින් ඉතා සූක්ෂම ලෙස ආයතනයෙන් මෙම ස්ටිකර් සොරකම් කර රුපියල් 500ක මුදලකට ප්‍රධාන සැකකරු වෙත අලෙවි කර ඇති බව විමර්ශනවලදී තවදුරටත් තහවුරු වී ඇත.




මෙම ජාවාරම සැලසුම් සහගතව ක්‍රියාත්මක කර ඇති ප්‍රධාන සැකකරු විසින් අයදුම්කරුවන්ගේ ඡායාරූප ලබාගෙන ජංගම දුරකථනයක් මාර්ගයෙන් ව්‍යාජ බලපත්‍රය සකසා, ඊට සොරකම් කරන ලද ආරක්ෂිත ස්ටිකරය ද අලවා රුපියල් දසදහසකට පැය දෙකක් ඇතුළත නිකුත් කිරීම දිගු කලක පටන් සිදුකරගෙන ගොස් ඇති බව හෙළිවී තිබේ. මෙලෙස අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනා ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග සඳහා බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.