හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය මෑතකාලීන අසනීප තත්ත්වය අතරතුරදී සිය සුවදුක් විමසූ සමස්ත ජනතාවට සහ හිතවතුන්ට සිය හෘදයාංගම ස්තූතිය පළ කර තිබේ. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ අසීරු අවස්ථාවේදී ජනතාවගෙන් ලැබුණු එම ආදරය සහ ආශිර්වාදය සිය ඉක්මන් සුවය සඳහා දැඩි ශක්තියක් වූ බවයි.
තම රෝගී තත්ත්වය පිළිබඳ පුවත සැලවීමත් සමඟම අතිවිශාල පිරිසක් දුරකථන මාර්ගයෙන් සහ විවිධ පණිවිඩ ඔස්සේ තමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. එසේම, තමාට නිරෝගී සුවය පතා දිවයිනේ නන්දෙසින් ජනතාව විසින් සංවිධානය කරන ලද සර්ව ආගමික වැඩසටහන් සහ පූජාවන් තමා ඉතා ඉහළින් අගය කරන බවද හිටපු ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත.
ශ්‍රී ලාංකික ජනතාව තමා කෙරෙහි දැක්වූ මෙම අපරිමිත සෙනෙහස සහ ක්‍රියාමාර්ග, අසනීප තත්ත්වයෙන් කඩිනමින් මිදීම සඳහා තමාට විශාල ධෛර්යයක් ගෙන දුන් බව ඔහු අවධාරණය කරයි. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින් තමා වෙනුවෙන් ගත හැකි උපරිම පියවර ගත් බව තමා හොඳින් දන්නා බව පවසන රනිල් වික්‍රමසිංහ මහතා, ඒ සියලු දෙනා දැක්වූ සුවිශේෂී උනන්දුව සහ සැලකිල්ල වෙනුවෙන් යළිත් වරක් සිය බලවත් කෘතඥතාවය මෙලෙස පළ කර සිටියි.

