two-disciples-of-homagama-gagan-were-caught-with-three-crore-worth-of-drug

විදෙස් රටක සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'හෝමාගම ගගන' නමැත්තාගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සහ ඒවා ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් සුඛෝපභෝගී මෝටර් රථයක්ද මෙම වැටලීමේදී පොලිස් භාරයට ගෙන ඇත.




මෙම මෙහෙයුම බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයට අයත් තුන්වන විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක පැතුම් අංජන මහතාට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක කර තිබේ. මීට පෙර, ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව සිටින රතු නිවේදන ලාභී 'කොණ්ඩ රංජි' හෙවත් රංජිත් කුමාර නමැති අපරාධකරුගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් කෝටි තිහක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සමග පසුගිය 10 වැනිදා ගණේමුල්ලේදී අත්අඩංගුවට පත් වූ අතර, ඔහුගෙන් රැඳවුම් නියෝග මත සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ තොරතුරු මෙම නව අත්අඩංගුවට ගැනීම් සඳහා මූලික වී ඇත.

කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුනකට ආසන්න ප්‍රමාණයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය විසින් මුලින් මාතර, හික්කඩුව සහ බද්දේගම යන ප්‍රදේශ ආවරණය වන පරිදි සෝදිසි මෙහෙයුම් දියත් කර තිබුණි. කෙසේ වෙතත්, දුරකථන දත්ත වාර්තා ඔස්සේ සිදුකළ විශ්ලේෂණයකින් පසු සැකකරුවන් හෝමාගම ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී කොටුකර ගැනීමට විමර්ශකයින් සමත් විය. එහිදී ප්‍රධාන සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 400ක්, හෙරොයින් ග්‍රෑම් 112ක් සහ කොකේන් ග්‍රෑම් 08ක් පොලිසිය විසින් සොයාගනු ලැබීය.




මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ගගන නමැත්තා මිනිස් ඝාතන කිහිපයකටම සම්බන්ධ අයෙකු බවට විමර්ශනවලදී තහවුරු වී තිබේ. අත්අඩංගුවට පත් වූ සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ දින හතක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතව ඇත. මොවුන් වෙනත් අපරාධ සඳහා සම්බන්ධ වී ඇත්ද සහ තවත් ආයුධ හෝ මත්ද්‍රව්‍ය සඟවා තිබේද යන්න සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවත්, සිද්ධියට අදාළ තවත් මත්ද්‍රව්‍ය තොගයක් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් උසස් පොලිස් නිලධාරියෙකු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.