
හොරණ පොලිස් වසම තුළ සිදු කරන ලද විශේෂ වැටලීම් මාලාවකින් අනතුරුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පනස් එකකට ආසන්න ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයකු මෙම මස විසිහතර වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් කේ.පී.ආර්. විදානගමගේ මහත්මිය පසුගිය දොළොස් වැනිදා නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මොරටුව ලුනාව ප්‍රදේශයේ පදිංචිකාරියක වන හතළිස් සිව් හැවිරිදි කුප්පගේ රාලගේ සිරියාවතී, රත්මලානේ පදිංචි විසිහත් හැවිරිදි දොන් සුරේෂ් ප්‍රමෝදය සහ පානදුර තන්තිරිමුල්ල ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි ආරච්චිගේ දෝන මලීෂා ලක්මිනී යන පිරිසයි.මෙම අත්අඩංගුවට ගැනීම් ස්ථාන කිහිපයකදී වෙන වෙනම සිදු කර ඇත. පොකුණුවිට සිදුරංගල බේකරිය අසලදී සිදු කළ සෝදිසියකදී සිරියාවතී නමැත්තිය අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6360ක් සන්තකයේ තබාගෙන සිටියදී පළමුවෙන් පොලිස් භාරයට ගෙන තිබේ. ඉන්පසුව ඇයගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ තොරතුරු මත ක්‍රියාත්මක වූ නිලධාරීන්, හොරණ සිට කොළඹ දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේදී අයිස් මිලිග්‍රෑම් 20110ක් සමඟ සුරේෂ් ප්‍රමෝදය නමැති සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව, කොස්කොළවත්ත හැරෙන මංසන්ධිය ආසන්නයේදී ක්‍රියාත්මක කළ තවත් වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ මලීෂා ලක්මිණී නමැති තරුණියද නීතියේ රැහැනට කොටු කර ගැනීමට හැකි වී තිබේ.
මෙම සැකකරුවන් සහ ඔවුන් සතුව තිබී භාරයට ගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙන්ම, ඔවුන් ජාත්‍යන්තර මට්ටමේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වන්නේද යන්න පිළිබඳව හොරණ පොලිසිය මඟින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේදී කරුණු අනාවරණය විය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන් ගීකියනගේ මහතා විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලද අතර, සැකකරුවන් වෙනුවෙන් නීතිඥ රොෂාන් දෙහිවල මහතා පෙනී සිටියේය. හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් මෙම සිද්ධියට අදාළ වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරගෙන යනු ලබයි.

